ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව ක්‍රීඩා ඇමැතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (26) දන්වා සිටියේය.
ඕස්ට්‍රේලියාවේදී 2022 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “බෝන් අගේන්” නම් ආගමික කණ්ඩායමෙන් බලපෑම් එල්ල වූ බවට වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාවට අදාළව විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගන්නා බව ද දැනුම් දෙන ලදි.
එම කමිටු වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මේ බව දන්වා සිටියේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. සී. බී .එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැනුම් දුන්නේ මෙම කරුණට අදාළව රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාව ලැබී ඇති බවය. එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ ඉදිරියේදී කරුණු දැක්වීමට පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
අතරමැදි පෙත්සම්කරුවකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා එහිදී ඉල්ලා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණයක් ගෙන දැනුම් දෙන තෙක් මෙම පෙත්සම සලකා බැලීම කල් තබන ලෙස ය.
ඒ අනුව මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
අදාළ විගණන වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීමට මීට පෙර ලබා දුන් ප්‍රතිඥාව ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේය. අදාළ පෙත්සම නොවැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අටදෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර