ආසියානු ඔලිම්පික් ධජය යටතේ චීනයේ හැන්ජෝ නුවර බලා ගිය ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට 10 වැනි ස්ථානයෙන් මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේදී සිය ඉසව්ව නිමා කිරීමට සිදු විය.
ජාත්‍යන්තර තහනමක් හේතුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග බිමට පිවිසි ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මූලික වටයේ තරග දෙකම පරාජය වීම හේතුවෙන් 9-13 අතර ස්ථාන වෙනුවෙන් තරග කිරීමට සිදුව තිබිණි. කෙසේ වෙතත් 9-13 වටයේ මුල් තරග දෙක ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ පෙරවරුවේ පැවති නේපාලයට එරෙහි තරගයෙන් ද ලකුණු 68-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම වටය යටතේ පස්වරුවේ පැවති තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 10-7ක් ලෙස පරාජය වීමට සිදු වීම නිසා 9 වැනි ස්ථානය අහිමි වී ගියේය. එම තරගයේ පළමු භාගයේදී 5-7ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුවද මේ පරාජය සමඟ ශ්‍රී ලංකා පිලට මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ කණ්ඩායම් 13ක් අතුරින් 10 වැනියා ලෙස තරගාවලිය නිමා කිරීමට සිදු විය. ශ්‍රී ලංකාව සමඟ තරගය ජය ගත්ත ද තායිලන්තයට හිමිවූයේ 11 වැනි ස්ථානයයි. 9 වැනි ස්ථානය පිලිපීනය හිමිකර ගනිද්දී මේ ඉසව්වේ පිරිමි රන් පදක්කම හොංකොං පිල දිනාගත් අතර, දකුණු කොරියාව සහ ජපානය පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.
කෙසේ වෙතත් අවසන් වරට 2018 වසරේ ජාකර්තාහිදී පැවති 18 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී සුදර්ශන මුතුතන්ත්රීගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා රග්බි පිල සිවුවැනි ස්ථානයට පත්ව තිබිණි.
මෙවර ක්‍රීඩා උලෙළේදී 9-13 අතර තරග වටය යටතේ පෙරේදා ඇෆ්ගනිස්තානය ලකුණු 36-10කින් සහ පිලිපීනය ලකුණු 14-7ක් පරාජය කළ ශ්‍රී ලංකාව ඊයේ පෙරවරුවේ පැවති තරගයේ මුල සිටම නේපාල ක්‍රීඩකයන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදුන් අතර, පළමු භාගය නිමා කළේ ලකුණු 42-0ක් ලෙස පෙරමුණ ගනිමිනි. ඊයේ සිය ඉසව්ව නිමා කළ රග්බි කණ්ඩායම හෙට යළි ශ්‍රී ලංකාව බලා ඒමට නියමිතය.
පිහිනුම්
ඊයේ පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනෙවිරත්න කාන්තා පිහිනුම් මීටර් 200 පසුපස ආර මූලික වටයේ පළමු තරගයට එක් වුව ද ඇයට අවසන් තරග බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය. එම තරගයේදී ඇය මිනිත්තු 2:26.37ක කාලයකින් 5 වැනියා ලෙස තරගය නිමා කළ අතර, සමස්ත ක්‍රීඩිකාවන් අතරේ ඇය 16 වැනියා බවට පත් වූවාය.
පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයේ 6 වැනි තරගයට එක් වූ මැතිව් අබේසිංහ තත්පර 23.10ක කාලයක් වාර්තා කළ අතර, එම කාණ්ඩයේ සිවුවැනියා වූ ඔහුට සමස්ත ක්‍රීඩකයන් අතරේ හිමි වූයේ 11 වැනි ස්ථානයයි.
ජිම්නාස්ටික්
කලාත්මක ජිම්නාස්ටික් ඉසව්වට එක්වූ නලින් නෙත්විරු ක්‍රීඩකයන් 18 දෙනකු අතුරින් 17 වැනි ස්ථානයට පත් විය.කෙසේ වෙතත් ඔහු සමස්ත තරගය පුරා ලකුණු 71.065ක් රැස් කර ගත් අතර, එය ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස ද සටහන් විය.
සුළං ඔරු
සුලං ඔරු ක්‍රීඩාවේ කාන්තා ඩිංගි ILCA4 ඉසව්වට එක් වූ අරියානා තාල්යා 5 වැනි ස්ථානයෙන් තරග නිමා කළ අතර, එම ඉසව්වේ පිරිමි තරගයට එක් වූ තරේන් කාශ්‍යපට හිමිවූයේ 11 වැනි ස්ථානයයි.
චෙස්
චෙස් ක්‍රීඩක සුසල් තෙව්ජන් ද සිල්වා ඊයේ පිරිමි ඒකල ඉසව්වේ 5 වැනි වටයේදී වියට්නාම ක්‍රීඩකයා හමුවේ පරාජය වූ අතර, 6 වැනි වටයේදී මොන්ගොලියානු ක්‍රීඩකයාට එරෙහිව ජයග්‍රහණය වාර්තා කළේය. ඔහු ඉන් පෙර වටයන්වලදී හොංකොං සහ තායිලන්ත ක්‍රීඩකයන් පරාජය කළ අතර, උස්බෙකිස්තාන ක්‍රීඩකයාට එරෙහිව ලකුණු සම කරගත් ඔහු චීන ක්‍රීඩකයා හමුවේ පරාජය වී තිබිණි.
බොක්සිං
බොක්සිං කිලෝග්‍රෑම් 51 බර පන්තියේ 32 දෙදෙනාගේ වටයට එක් වූ රුක්මාල් ප්‍රසන්න බංග්ලාදේශයේ හොසේන් සලීම් හමුවේ 3-2ක් ලෙස පරාජයට පත් විය. මේ තරගයේ අවසන් වට දෙක රුක්මාල් ජයගත්ත ද මුල් වට 3 ජය ගැනීමට සමත් වූ බංග්ලාදේශ ක්‍රීඩකයා ජය තහවුරු කර ගත්තේය.
වුෂූ
වුෂූ පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් 8 දෙනාගේ වටයේ තරගයට එක් වූ පැතුම් නුවන් බලවර්ධනට දකුණු කොරියාව හමුවේ 2-1කින් පරාජය වීමට සිදු වූ අතර, පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග කළ නිපුන් ශානික හමුවේ වියට්නාමයට නිතරග ජයක් හිමි විය.
පිරිමි ක්‍රිකට් අද ඇරඹේ
තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරග අද සෙජෑන්ග්හි තාක්ෂණ විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතය.
මේ තරගාවලියට කණ්ඩායම් 13ක් එක්වන අතර, කාන්තා තරගාවලියේදී මෙන්ම මේ තරගාවලියේදීත් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඍජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.
මූලික වටයේදී කණ්ඩායම් 9ක් කාණ්ඩ 3කින් තරග වදින අතර, එහි මුල් ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වන්නේ ලබන මස 3 වැනිදා සිටය.
චීනය පෙරමුණේ
ආසියානු ක්‍රීඩා උලෙළේ සිවුවැනි දිනයේ පස්වරුව වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව සිටි අතර, දෙවැනි ස්ථානය දකුණු කොරියාව සහ තෙවැනි ස්ථානය ජපානය හිමිකර ගනිද්දී ඉන්දියාව 6 වැනි ස්ථානයේ පසු විය. වසර 9කට පසු රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව ඒ වන විට 20 වැනි ස්ථානයේ පසු විය.