අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වැනි ගුණ සමරුව හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලදී ඊයේ (26) පැවැත්විණි. මීට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වැනි ගුණ සමරුව සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වැනි ගුණ සමරුවද ඊයේ (26) සිදු කෙරිණි.
බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීහු සහ පවුලේ ඥාතීහු සිදු කළහ. අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු කථානායක කරු ජයසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කිරීමෙන් අනතුරුව ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් පිරිස පංචශීලයෙහි පිහිටුවූ අතර, පැන්වැඩීම පිණිස ආගමික වතාවත් පන්නිල ආනන්ද නාහිමියෝ සිදු කළහ. අනතුරුව ප්‍රධාන අනුශාසනාව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් විසින්ද, නිට්ටඹුව මීසම් බාර කිරුල් ජයනාත් පියතුමන් සහ මව්ලවි කුරුක්කුල් විසින්ද සිදු කරනු ලැබීය. බණ්ඩාරනායක ගුණ සමරු ගීතය ඉදිරිපත් කිරීම වේයන්ගොඩ සාන්ත මරියා ජාතික පාසලේ සිසු දරුවෝ සිදු කළහ.