Home » දස ලක්ෂ වැනි සංචාරකයාත් මෙරටට එයි

දස ලක්ෂ වැනි සංචාරකයාත් මෙරටට එයි

මාස අටට කෝටි 41,600ක ආදායමක්

by mahesh
September 27, 2023 1:03 am 0 comment

මහින්ද අලුත්ගෙදර, කටුනායක - ටී.කේ.ජී. කපිල

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනය (දසලක්ෂය) සනිටුහන් කරමින් රුසියානු ජාතිකයකු ඇතුළු ඔහුගේ පවුලේ පිරිසක් ඊයේ (26) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

දස ලක්ෂය වැනි සංචාරකයා සහ ඔහුගේ පවුලේ අය පිළි ගැනීමට විශේෂ උත්සවයක් ඊයේ (26) ගුවන්තොටුපළේදී පැවැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම සංචාරක පැමිණීම සමරා තිබෙන අතර මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට විශේෂ සංධිස්ථානයක් බව ද එය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද එම අධිකාරිය සඳහන් කරයි.

කෙසේ වුවද මේ මාසයේ මුල් දින 24ක කාලයේදී විදෙස් සංචාරකයන් 88,885ක් මෙරටට පැමිණ තිබෙන අතර ඒ අනුව එදින වන විට විදෙස් සංචාරකයන් 993,203 දෙනකු මෙරටට පැමිණ තිබිණි. කෙසේ වුවද ඊයේ වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 10ක් මෙරටට පැමිණ තිබෙන අතර මේ මාසයේ දෛනික සාමාන්‍ය සංචාරක පැමිණීම 3,700ක් බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී තිබෙන අතර එම ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අතර මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරක ඉපයීම රුපියල් කෝටි 41,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1,300) වන අතර එය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 56.7ක වර්ධනයක් බව ද පසුගිය අගෝස්තු මාසයේදී පමණක් සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 210.5ක් වන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT