ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 39න් 30ක්ම මේ වන විට ලාබ ලබන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නව සභාපතිවරයා පත් වන විට ලංගම ඩිපෝ 39ට පඩි ගෙවන්නවත් ආදායමක් තිබුණේ නැහැ. දැන් ඩිපෝ නවයකටයි පඩි ගෙවන්න බැරි. 30කට ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා යැයිද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවා ගන්නා ලද නව කොන්දොස්තර, රියැදුරු පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අලුතින් බඳවා ගත් කොන්දොස්තර රියැදුරු මහත්වරුන් සිය දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතිය සතු සම්පතක් නිසා එයින් ලැබෙන ලාභයෙන් කොටසකින් එය උපද්දවන්න සම්බන්ධ වෙන අයට පඩි වැඩි කර දෙන්න පුළුවන්. දිරිදීමනා දෙන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂණයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරන්න ඩිපෝ ලාභ ලබන්න ඕනෑ. නව සභාපතිවරයා පත්වන විට ඩිපෝ 39ටම පඩි ගෙවන්න ආදායමක් තිබුණේ නැහැ.නමුත් දැන් පඩි ගෙවන්න බැරි ඩිපෝ නවයකට පමණයි. ඩිපෝ තිහක්ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා. බස් එකට නඟින සියලු දෙනාට ටිකට් දීලා ඒ ලැබෙන ආදායම දවස ගානේ හෘද සාක්ෂියට එකඟවත් අවංකවත් ඩිපෝ එකට බැන්දොත් ඩිපෝ ඔක්කොම ලාබ ලබනවා. අපේ කොන්දොස්තරවරුන් රියැදුරු මහත්වරුන් කරන්නේ දවසේ ලැබෙන ආදායමෙන් කොටසක් ඩිපෝ එකට බැඳලා කොටසක් තමන්ගේ ගෙවල්වලට අරගෙන යන එකයි. ඒ නිසා මේවාට සම්බන්ධ වෙන තිස්පස් දෙනෙක් පමණ දවසකට වැඩ තහනම් වෙනවා. ඒ වැඩවලට සම්බන්ධ වෙලා අමාරුවේ වැටෙන්න එපා. අද සිට ඔබලා රජයේ සේවකයන් රජයේ සේවකයන්, හොරකම් කළොත්, වංචා කළොත් ඒකට ඉතා විශාල දඬුවමකට ලක් වෙනවා. මේ අය වැඩි දෙනෙක් තරුණ අය. ආයතනය රැකගෙන මහන්සි වෙලා වැඩ කළොත් තමන්ටත් හොඳ දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඉස්සර ලංගම රියැදුරු මහත්තයකුට කොන්දොස්තර මහත්තයකුට විශාල පිළිගැනීමක් ගෞරවයක් සමාජයේ තිබුණා. රස්සාවෙන් විශ්‍රාම යනවිට මිනිසුන් ඔවුන් වෙනුවෙන් උපහාර උත්සව පැවැත්වූවා. එවැනි තත්ත්වයකට එන්න අලුත් පරම්පරාවේ අය ලෙස ඔබ වැඩ කර විනයගරුකව ලංගමට ආදරයෙන් තමන් වැඩ කරන බස් රියට ආදරෙන් කටයුතු කළොත් ඔබට හොඳ හෙටක් තියේවි.
ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස්රථ දෙසීයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. 2030 වන විට මුළු ලංකාවේම පොදු ප්‍රවාහනය විදුලි බස්රථ වෙන්න ඕනෑ. ඉලෙක්ට්‍රොනික් ටිකට්පතක් ලබා දෙන වැඩපිළිවෙළ ද මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු එස්. එම්. ඩී. එල්. කේ. ඩි. අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
සුභාෂිණී සේනානායක