Tuesday, December 5, 2023
Home » ධනුෂ්ක ගුණතිලක නිදහස් – උසාවියෙන් එළියට ඇවිත් ධනුෂ්ක කිව්ව දේ

ධනුෂ්ක ගුණතිලක නිදහස් – උසාවියෙන් එළියට ඇවිත් ධනුෂ්ක කිව්ව දේ

by chanaka
September 28, 2023 9:15 am 0 comment

ඔස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදහස් කර තිබේ.

සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගට් විසින් අද(28) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ABC News වාර්තා කරයි.

අදාළ චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට විනිසුරුවරිය තීන්දු කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී ටින්ඩර් නම් යෙදවුම හරහා හඳුනාගත් තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණි.

කෙසේවෙතත් එයින් 03 ක් පසුව ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු නීති අංශ පියවර ගත්තේය.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම යන චෝදනාව යටතේ පමණක් අනතුරුව මෙම නඩු විභාගය සිදු විය.

ධනුෂ්ක ගුණතිලකට මුල් අවධියේදී සමාජ මාධ්‍ය තහනමක් මෙන්ම නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් පිටතට යාම පවා තහනම් කර තිබු නමුත් පසුව එම රෙගලාසි ලිහිල් කරනු ලැබීය.

මෙම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලකට ක්‍රීඩා තරග තහනමක්ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ධනුෂ්ක ගුණතිලක හ‌ට පසුගිය වසරේ නොවැම්බර් මස මැද සිට ඇප මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටීමට සිදු විය.

උසාවියෙන් පිටත පැමිණ ධනුෂ්ක සදහන් කර ඇත්තේ ලබා දුන් තීන්දුව “සියල්ල කියයි” සහ ඔහුගේ කීර්තිය නැවත ඇති කර ඇති බවයි.

ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නීතීඥයින්ට, කළමනාකරුවන්ට මෙන්ම මිතුරන්ට සහ පවුලේ අයට ස්තුතිය පුද කරමින්, “සියල්ලන්ම මාව විශ්වාස කළා, ඒ නිසා මට ගොඩක් වටිනවා” යැයි පවසා ඇතැයි සදහන් වේ.

“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලා සිටිනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.

පසුගිය මාස එකොළහ “ඇත්තටම දුෂ්කර” වූ බවත් විශේෂයෙන් තම දෙමාපියන් නොමැතිව ඕස්ට්‍රේලියාවේ සිටීම දැඩි අපහසුවක් වූ බවත් ධනුෂ්ක ගුණතිලක එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT