උතුරු ඉරාකයේ කතෝලික මංගලෝත්සවයක් අතරතුර හටගත් ගින්නකින් පුද්ගලයන් 113ක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගින්නට බිලි වූ පිරිස අතර මනාල යුවළ ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. ගින්නෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 150ක් පමණ රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. නිනේවා ප්‍රාන්තයේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් මරණ ගණන තවත් ඉහළ යා හැකි බව එම ප්‍රාන්තයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.
එහෙත් ඉරාකයේ රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත්තේ මේ සිදුවීමෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 450 ඉක්මවා ඇති බවය. මිය ගිය අය අතර කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.
ගින්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉරාකයේ ජනාධීපති අබ්දුල් ලතීෆ් ජමාල් රෂීඩ් බලධාරීන්ට නියෝග කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, එය රතිඤ්ඤා දැල්වීමෙන් සිදුවන්නට ඇතැයි ඉරාකයේ ආරක්ෂක අංශ අනුමාන කර තිබේ. මේ අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ උතුරු ඉරාකයේ නිනේවා ප්‍රාන්තයේ කරකෝෂ් නමැති ප්‍රදේශයක පිහිටි උත්සවශාලාවකදී වන අතර, ගිනි ගැනීමෙන් පසු එම උත්සව ශාලාවේ කොටසක් කඩා වැටී ඇතැයි ද වාර්තා වේ.
මනාල යුවළ නර්තනය ආරම්භ කිරීමත් සමඟ දල්වනු ලැබූ ගිණි කෙළි මඟින් උත්සව ශාලාවේ සිවිලිමට ගිනි ඇවිලීමෙන් මේ විනාශය සිදු වූ බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.