Tuesday, December 5, 2023
Home » තල්දූව ද්විත්ව ඝාතනයේ සැකකරු මන්නා රමේෂ්ගේ මහ ගෝලයෙක් අවිස්සාවේල්ලේදී කොටු

තල්දූව ද්විත්ව ඝාතනයේ සැකකරු මන්නා රමේෂ්ගේ මහ ගෝලයෙක් අවිස්සාවේල්ලේදී කොටු

by sachintha
September 28, 2023 1:00 am 0 comment

අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ගුරුපස්ගොඩ වංගුව අසලදී පසුගියදා (20) සිදු කළ ද්විත්ව ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ්ගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් ග්‍රෑ. 5යි මි.ග්‍රෑ. 230ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (26) අවිස්සාවේල්ල ටොනිටන් පෙදෙසේදී අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට භාර දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලිස් වසමේ ටොනිටන් පෙදෙසේදී වැටලීමක් සිදු කළ අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑ. 5යි මි.ග්‍රෑ. 230ක් සන්තකයේ තබාගැනීම හා පසුගිය 20 දා අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ත්‍රිරෝද රථයකින් ගමන් ගත් සිව් දෙනකුට ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා යෑමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු වන මන්නා රමේෂ් නමැති පුද්ගලයාගේ මිතුරකු වන මහේෂ් නමැති පුද්ගලයකුගේ දැනුම් දීමකට අනුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට මි.මී. 9 වර්ගයේ උණ්ඩ 4ක් සහිත පාර්සලයක් ගෙනැවිත් භාර දීමටත්, පසුගිය 20 දින අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමේ යතුරුපැදිකරු වන මහේෂ් නමැති පුද්ගලයා හට මේ ඝාතනය සිදු කිරීම සදහා කළු පැහැති ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය ගෙනැවිත් භාර දීමටත් කටයුතු කළ පුද්ගලයා වන අතර, මන්නා රමේෂ් නමැති පාතාල සාමාජිකයා සමඟ සමීප ඇසුරක් පවත්වන පුද්ගලයකු බවටද පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/ විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පූගොඩ කඳවුරේ කඳවුර අණ දෙන නිලධාරි (ප්‍ර.පො.ප) කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT