තියුණු ආයුධවලින් කපාකොටා පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් ඊයේ (27) මරණ දඬුවම නියම කළේය.
කළුතර දකුණ, කලිල් පෙදෙසේ පදිංචිව සිටි එවකට 28 වියේ පසුවූ සෙයියර් මොහොමඩ් ෆාරිස් නමැත්තා 2003 මාර්තු මස 24 වැනි දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කරන ලදි. කළුතර, මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා, 49 හැවිරිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන්, 59 හැවිරිදි මොහොමඩ් මව්ස් මොහොමඩ්, 45 හැවිරිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ්, 47 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැවිරිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැවිරිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් හෆීල් යන අයවලුන්ට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුමකඩ ප්‍රදේශයේ කලීල් පෙදෙසේ පිහිටි ක්‍රීඩාපිටිය ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවට අධිකරණයේදී අනාවරණය විය.
2008 අප්‍රේල් 29 දිනැති එච් සී 577/05 අංක යටතේ නඩුව විභාගයට ගෙන තිබිණි. වසර 20කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ඊයේ දහවල් විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා