Saturday, May 10, 2025
Home » තේක්කවත්ත කසළ කන්ද වසාදැමීම අපේ අරමුණයි

තේක්කවත්ත කසළ කන්ද වසාදැමීම අපේ අරමුණයි

-මහනුවර මහා නගර සභාවේ යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ලබන වසරේ මුල් කාර්තුව වන විට තේක්කවත්ත කසළ කන්ද වසා දැමීම අපගේ අරමුණ බව මහනුවර මහා නගර සභාවේ යාන්ත්‍රික ඉංජිනේරු, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශ ප්‍රධානි නාමල් ධම්මික දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ නගර සභාවෙන් තේක්කවත්තේ අලුතින්ම ස්ථාපනය කර ඇති නොදිරන කසළ වෙන් කිරීමේ යන්ත්‍රය හඳුන්වා දෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද පැවසීය.

“මේ නොදිරන කසළ වර්ගීකරණය කිරීමේ යන්ත්‍රය සවිකිරීමට නගර සභාව වැය කර ඇති මුදල රුපියල් කෝටි හයහමාරක්. එමඟින් නොදිරන කසළ දිනට ටොන් 30ක් පමණ වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. එසේ කසළ වෙන් කරවා ගැනීමෙන් තවදුරටත් කසළ එක්රැස්වීම අවම වෙනවා. එසේ වෙන් කරන නොදිරන කසළ අලෙවි කිරීම හරහා මුදලක් උපයා ගැනීමට හැකි වෙනවා. අක්කර 32ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි කටුගස්තොට, තේක්කවත්ත කසළ අංගණයට වසර 40ක පමණ කාලයක සිට කසළ බැහැර කිරීම සිදු කරනවා. අද වන විට එයට දෛනිකව බැහැර කරන කසළ ප්‍රමාණය ටොන් සියයක්. එම ප්‍රමාණයෙන් සියයට 20ක් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවෙන් බැහැර කරනවා. ඉතිරි සියයට 80 මහනුවර නගර සභාවෙන් බැහැර කරනවා.

මේ කසළ කන්ද නිසා ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. එයට එරෙහිව ප්‍රදේශවාසීන් එක්ව පිහිටුවා ගත් පාරිසරික පොදු සම්පත් සුරැකීමේ සංගමයෙන් නගර සභාව සමඟ නඩු මඟට ද බැස තිබෙනවා. එම නඩුව වසර 13ක පමණ කාලයක සිට අසමින් පවතිනවා.

තේක්කවත්තට බැහැර කරන කසළ ප්‍රමාණය අවම කර ගැනීමටත් කසළ භාවිත කරමින් සිදු කළ හැකි දේවල් පිළිබඳවත් දීර්ඝ කාලයක පටන් අධ්‍යයනයක් කර තිබෙන මහනුවර මහ නගර සභාව අද වන විට කසළ අංගණයට බැහැර කරන කසළවලින් කරන විධිමත් ක්‍රියාවලිය හරහා ලබන වසර මුල වන විට මේ කසළ කන්ද වසා දැමීමට හැකියාව පවතිනවා. දැනට තේක්කවත්තට ලැබෙන කසළ ටොන් 100න් 35ක් පමණ නුදුරේදීම දිගන අලුත්වත්තට ගෙන යන්න සැලසුම් සකස් කර තිබෙනවා. දිරන කසළ භාවිත කර කාබනික පොහොර නිපදවීම සිදු කරනවා.

ජීව වායුව නිපදවනවා. ඒ වගේම 2016 ආරම්භ කළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයේ තිබෙන යන්ත්‍ර සූත්‍ර භාවිත කර ප්ලාස්ටික් කැට බවට පත් කරනවා. දිනකට මේ කැට කිලෝ 400ක් 500ක් අතර ප්‍රමාණයක් නිපදවනවා. ඒවාට වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපේ සම්පත් පියස විසින් ප්‍රදේශයේ ජනතාවගෙන් නොදිරන කසළ මිලදී ගන්නවා. ඒවා අතර, තිබෙන ප්ලාස්ටික්වලින් තමයි මේක කරන්නේ.

ඊට අමතරව පොලිතින්, රෙදි කැබැලි ආදිය එකතු කර වරකට ටොන් 06ක් පමණ ඉන්සේ සිමෙන්ති සමාගමට නොමිලේ දෙනවා. නුදුරේදීම පොලිතින් භාවිතයෙන් ඉන්ටර් ලොක් ගල් නිපදවීම ද ආරම්භ කරනවා. ඒ සඳහා අවැසි ගොඩනැඟිලි පවා අපි ඉදි කර තියෙනවා. මේ වැඩ කටයුතු සිදු කිරීමට අපේ හිටපු නාගරික කොමසාරිස්, වත්මන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, පවිත්‍රතා අධිකාරි චන්දන අබේරත්න, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය භාර සේනක වෙදගේ මහත්වරුන් ඇතුළු නගර සභාවේ සියලුම දෙනා උපරිමයෙන් සහාය දෙනවා.”

කටුගස්තොට සමූහ – එස්. ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT