Tuesday, December 5, 2023
Home » වාහන තදබදයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රවාහන අංශයේ නවීකරණයක් අත්‍යවශ්‍යයි

වාහන තදබදයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රවාහන අංශයේ නවීකරණයක් අත්‍යවශ්‍යයි

-ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන චීනයේ බීජිං නුවරදී පවසයි

by sachintha
September 28, 2023 1:00 am 0 comment

අධික රථවාහන තදබදය හේතුවෙන් ගමන් කාලය, ගමන් වියදම් වැඩි වන අතර වායු දූෂණයටද එය අහිතකර ලෙස බලපාන බවත්, ෆොසිල ඉන්ධන අධික ලෙස පරිභෝජනය කිරීම විදේශ විනිමය ගැටලු සඳහාද දැඩි බලපෑමක්‌ ඇති කරන බැවින් වාණිජ අගනුවර වන කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පවතින අධික වාහන තදබදයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙමින් ප්‍රවාහන අංශයේ නවීකරණයන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ චීනයේ බීජිං නුවර පැවත්වෙන 2023 ගෝලීය තිරසර ප්‍රවාහන සංසදයේ සමාප්ති දිනයට සමගාමිව ‘තිරසර ගෝලීය ප්‍රවාහන සබඳතාව ගොඩනැගීම’ තේමාව යටතේ පැවති ප්‍රවාහන ඇමැතිවරුන්ගේ වටමේස සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“ගෝලීය තිරසර ප්‍රවාහනය සම්බන්ධව සියලු රටවල් අතර ශක්තිමත් සබඳතාවක් සහිත සම්මුතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව උදෙසා කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට මා අදහස් කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පවතින මූල්‍ය අර්බුදය, කාබන් අවම කිරීම හෝ ශූන්‍ය කාබන් විමෝචනය සහිත නවීන වාහන හඳුන්වාදීමේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වන වංචා සහ දූෂණ හේතුවෙන් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික බස් රථ හිමියන්ටත් විශාල වශයෙන් පාඩු විදිමට සිදු වන බැවින් බස් රථ හා දුම්රිය ඇණිය කළමනාකරණය සඳහා සුහුරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් (smart solutions) හඳුන්වා දීම සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සහ මුදල් අය කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක්. වඩාත් කාර්යක්ෂම සේවා සැපයීමේ ක්‍රමවේදයක් ලෙස බස්/ දුම්රිය/ කුලී රථ භාවිත කිරීමේදී ජංගම යෙදුම් (mobile app) හඳුන්වා දීම තුළ ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට වඩා යම් පසුගාමි තත්ත්වයක පසු වේ.

“අධික රථවාහන තදබදය හේතුවෙන් ගමන් කාලය, ගමන් වියදම් වැඩි වන අතර වායු දූෂණයටද එය අහිතකර ලෙස බලපායි. ෆොසිල ඉන්ධන අධික ලෙස පරිභෝජනය විදේශ විනිමය ගැටලු සඳහාද දැඩි බලපෑමක්‌ ඇති කරයි. එබැවින් වාණිජ අගනුවර වන කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පවතින අධික වාහන තදබදය සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් දෙමින් ප්‍රවාහන අංශයේ නවීකරණයන් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම වරාය, ගුවන් තොටුපොළ සහ කාර්මික කලාප සම්බන්ධ කෙරෙන ප්‍රවාහන අංශයේ සැපයුම් සඳහා ආයෝජන වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා වෙන් වූ මාර්ග පද්ධතියක් අවශ්‍ය වන්නේ වාහන තදබදය අවම කිරීම සහ ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ඉන් විශාල දායකත්වයක් ලැබෙන බැවිනි.

“රථවාහන සහ සැපයුම් කළමනාකරණය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම අතින් සංවර්ධිත රටවල කැපීපෙනෙන ලෙස වර්ධනයක්‌ සිදු වේ. එහෙත් මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ වාහන ඇණිය නවීකරණය කිරීමේ පවතින බාධක හේතුවෙන් අප රට තුළ එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙමින් පවතී. එහෙත් ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් මඟින් ඒ පිළිබඳ දැනුම වර්ධනය කරගැනීම හා හුවමාරු කරගැනීම අනාගතය සැලසුම් කිරීම වෙනුවෙන් මේ මොහොතේ ඉතා වැදගත්. ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා පමණක් නොව, සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දී ඇති මූල්‍ය හා තාක්ෂණික සහාය වෙනුවෙන් චීන රජයට සහ චීනයේ එක්සිම් බැංකුවට විශේෂ ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර 6 වැනි සියවසේ පටන් පැවතෙන ශක්තිමත් සබඳතාව දෙරටේම සාර්ථකත්වය වෙනුවෙන් නොබිඳී පවතිනු ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මේ සංසදයෙන් ලද අත්දැකීම් ප්‍රවාහන හා මහාමාර්ග විෂයපථය යටතේ ගෝලීය තිරසර ප්‍රවාහනය සම්බන්ධයෙන් වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT