Friday, May 9, 2025
Home » ගුරු පුරප්පාඩු පුරවන්නේ මාරුවීම් ගන්න නොවේ -අගමැති දිනේෂ් ගු ණවර්ධන

ගුරු පුරප්පාඩු පුරවන්නේ මාරුවීම් ගන්න නොවේ -අගමැති දිනේෂ් ගු ණවර්ධන

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ගුරු පත්වීම් ලබාදීමේ දී පළාතේ පුරප්පාඩු පිරවීමට පියවර ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය. පළාත් ආණ්ඩුකාරවරුන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර අරලියගහ මන්දිරයේ පසුගියදා (26) පැවැති හමුවේ දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

වෙනත් පළාත්වලට හෝ දිස්ත්‍රික්කවලට ගුරුවරු යොමු කළොත් එම ගුරුවරුන් පාසල්වල නොරැඳෙන බව අගමැතිවරයා කීවේය. ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදීම මිස සහනදායි ස්ථාන මාරුදීම නොවන බව ද අගමැතිවරයා කියා සිටියේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය දැනටමත් මහජන නියෝජිතයන් නැති පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනවලත් වසරකට වැඩි කාලයක් ජනතා නියෝජිතයන් නැහැ.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් පත්කරමින් පළාත් සභාවල වැඩ කටයුතුත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන කමිටු පත් කරමින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල වැඩ කටයුතුත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ එක්ව වැඩ කළ යුතුයි කියා ජනාධිපතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

ජනාධිපතිවරයාගේ නියෝජිතයන් හැටියට ආණ්ඩුකාරවරුන් සුවිශේෂ බලයක් භුක්ති විඳිනවා. රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරුන් හැම අංශයක්ම පිළිබඳවම හොඳ අවධානයක් යොමු කළ යුතුයි. බහු කාර්ය සේවකයන් ස්ථානගත කිරීම පිළිබඳ අවධානය වැඩිපුර යොමු කරන්න.

පළාත් සභාවල සහාය ඒකට ලැබෙන්න ඕනෑ. රාජ්‍ය ඇමැතිවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ආණ්ඩුකාරවරුන් වන මහීපාල හේරත්, විලී ගමගේ, ලලිත් යූ. ගමගේ, ඒ. ජේ. මුසම්මිල්, රොෂාන් ගුණතිලක, පී. එම්. එස්. චාල්ස්, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහත්ම මහත්මීන් ඇතුළු පළාත් ප්‍රධාන ලේකම්වරුන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT