ලබන වසරේ දෙසැම්බර් වෙද්දි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයට බරක් නොවන දෙපාර්තමේන්තුවක් බවට පත්කරන බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. පසුගිය කාලයේ වසරකට රුපියල් මිලියන 7000ක් පාඩු ලැබූ එම දෙපාර්තමේන්තුව මේ වසර අවසන් වනවිට රුපියල් මිලියන 4000 දක්වා අලාභය අවම කරගන්නා බව පෙන්වා දෙන ඒ මහතා 2024 වර්ෂය අවසන් වනවිට ලාභ ලබන තත්ත්වයට ගෙනඑන බවද ඒ වෙනුවෙන් සේවකයන්ගේ කැපවීම අවශ්‍ය බවද පෙන්වා දුන්නේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණයේ තැපැල් සේවා නිලධාරීන් 133ක් සහ ප්‍රාථමික ශීල්පීය නිලධාරී ගණයේ තැපැල් රියැදුරන් 26ක් බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානය වෙනුවෙන් තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (27) පැවැති උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් වැඩබලන ජනමාධ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
“මේ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට,තැපැල් දෙපාර්තමේන්තුවේ විෂය පැවරුණු අමාත්‍යවරයා හැටියට මම වැඩ භාර ගත්තාට පසුව වැඩිම දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ආවේ මේ විභාගයට ඉදිරිපත් වුණු අයගෙන්. ඒ අපි විභාගය ලියා සමත් වෙලා තිබෙනවා කවදද මේ පත්වීම් දෙන්නේ කියලා. ඒ ඒ ප්‍රදේශවල අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කියා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් මගෙන් පාර්ලිමේන්තුවේදී මේ ගැන ඇහුවා. රටේ ඉතාම නරකම කාලපරිච්ඡේදය අපි පසු කළේ. ඒ කාලපරිච්ඡේදයේ අපේ රටේ වියදම් කළමනාකරණයට මුදල් අමාත්‍යංශයෙන් සියලු බඳවා ගැනීම් නවත්වනු ලැබුවා. උසස්වීම්,බඳවා ගැනීම් සියල්ල තාවකාලිකව නැවැත්තුවා.
අපේ කැබිනට් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ වෙලාවේ හිටපු තැපැල්පතිත් වර්තමාන අපේ තැපැල්පතිත්, එතුමා ඒ වෙලාවේ අපේ අතිරේක ලේකම්වරයෙක් හැටියට කටයුතු කළා. ඒ වගේම අපේ පාලන අංශයේ ඒ සියලුම දෙනා යුහුසුළුව මේ කටයුතු සාර්ථකව කිරීම නිසා අද වගේම කැබිනට් අමාත්‍යතුමා විදේශගත වෙලා ඉන්න දවසක මට එදින කැබිනට් මණ්ඩලයට සහභාගී වෙන්න හේතු සාධක වුණා. මේ කාරණා හරියට කැබිනට් මණ්ඩලයට පැහැදිලි කර අනු කමිටුව හරහා මේ වාර්ථාව කඩිනමින් ලබා ගන්න. අපේ අමාත්‍යංශයේ ලෙකම් අනූෂ පැල්පිට මහතා මේ කැබිනට් සංදේශය හදා කැබිනට් පත්‍රිකා හදලා අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට ඒ සියලු යුතුකම් කොටස ඉටු කළා. ඒ අනුව තමයි මෙයට කලින් පත්වීම් ප්‍රමාණයක් දෙන්න අපට හැකියාව ලැබුණේ. ඒ වෙලාවේ අපට මේ විදියේ හමුවකින් පත්වීම් ලබාදීමට විදියක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණු නිසා. මැතිවරණ කොමිසමෙන් අපට කියා තිබුණා එහෙම පත්වීම් ප්‍රදානය කරන්න බැහැ ඒක වැරදියි කියලා.
පත්වීමක් උසස්වීමක් ලබනවා කියන්නේ තවත් වගකීමත් දෙවුර මතට එනවා. මට මතකයි මම ගුරු සේවයේ ඉදලා ඒ වෙලාවේදී ජාත්‍යන්තරය නියෝජනය කරපු විසි පස් දෙනෙකු නියෝජනය කර ක්‍රීඩා අමාත්‍යංශයට බඳවා ගද්දී මට පත්වීම් ලිපිය ලැබෙන විට මූලික වැටුප තිබුණේ හයදහස් පන්සිය විසි දෙකයි. ඒ අවස්ථා දෙකේදීම අපි විශාල සතුටක් ලැබුවා.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එයින් උසස් තැනකට ගිය පසු අර්බුදයක් පැමිණෙන විට රට දාලා යනවානම් ඒක මනුස්සකම නොවෙයි. ජපානය දියුණු කරන්න සියලු දෙනා අත්වැල් බැඳගත්තා. දේශපාලන නායකත්වය, රාජ්‍ය සේවකයන්, ප්‍රජාව, සමස්ත පුරවැසියන් සාමුහික කැපකිරීමක් තුළින් රට ගොඩගියා.
ඉන්දියාවේ ආර්ථික අර්බුදය පැමිණි වෙලාවේ කැඳවත් බොන්න නැතිව ගියා. සාගතයෙන් මිනිස්සු මැරුණා. නමුත් අපේ රට එතැනට ගියේ නැහැ. ඒ නිසා අපිට මේ රට ගොඩනඟන්න පුළුවන්. ඒ නිසා තනි තනි වශයෙන් පමණක් නොව සාමුහිකව අපි අපේ දායකත්වය දිය යුතු වෙනවා. ඒ කැපකිරීම අපි කරමු. තැපැල් දෙපාර්තමේන්තුවෙන් කරන කැපකිරීම අපට තිබෙන්නේ. ඒ නිසා අපි තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කරනවා. අපි ලිපි බෙදනවා වගේම ඊට එහා ගිය වැඩ කොටස්වලට අපි යොමු වෙනවා. මේ වනවිට අපි ප්‍රවේශ වී තිබෙනවා. ආදායම් උත්පාදනය කරන අංශ වෙත අපි යොමු වියයුතු වෙනවා. පෞද්ගලික අංශය සමඟ ලොකු තරඟයකට මුහුණ දෙන්න සිදුවෙනවා.
සමාජ මාධ්‍ය මර්ධනයට උත්සාහ ගන්නවා කියා මතයක් යනවා. ඇතැම් දේශපාලන නායකයන් මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව සාකච්ඡා කරනවා. මේ ගැන අපේ අමාත්‍යාංශයෙන් ගෙනා පනත් කෙටුම්පතක් නොවෙයි. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කළ කෙටුම්පතකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දී තිබෙනවා. අද දරුවන් කීදෙනෙක් සියදිවි හානිකර ගන්නවා ද සමාජ මාධ්‍ය නිසා. පවුල් සංස්ථා කීයක් බිඳ වැටෙනවා ද. ඒකට උත්තරයක් හොයන එක වැරැදිද. අද නොයෙක් ආගම්වලට විවිධාකාරයෙන් පහර දෙනවා. ඒකට උත්තරයක් සොයන එක වැරැදිද. ඒ නිසා වැඩි දෙනෙක් සිතන්නේ ආණ්ඩුවට බනින එක නතර කිරීම නිසා මේ සමාජ මාධ්‍ය මර්දනය කරනවා කියනවා. කිසිලෙසක සමාජ මාධ්‍ය මර්ධනය සඳහා හෝ තහනම් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ.
මුහුණ පොත තහනම් කරන්න අවධානය යොමුකර නැහැ. නමුත් අද සමාජ මාධ්‍ය ඔස්සේ පාසල් දරුවන්ගේ සිට යෞවනයේ තරුණ තරුණියන් දක්වා ඇතිකරන ප්‍රශ්න අපි දන්නවා. එවැනි සිදුවීම් සඳහා අද යන්න තැනක් නැහැ. අපේ දියණියක්, නැගණියක් වෙන්න පුළුවන්. ඔවුන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් යන්න තැනක් නැහැ. සමාජ මාධ්‍ය නියාමන කොමිසන් සභාවක් පිහිටුවා තමන්ගේ දුක කියන්න තැනක් හදන එක මේ රටේ නොතිබිය යුතු දෙයක්දැයි මම ප්‍රශ්න කරනවා. පියවරෙන් පියවර තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරියට ගමන් කළයුතු වෙනවා. අපේ සම්පූර්ණ සහාය ඒ වෙනුවෙන් දෙනවා” යැයි පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, පත්වීම් ලාභීන්මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්ත