Tuesday, December 5, 2023
Home » විහාරස්ථාන 5කට පූජා භූමි සන්නස් පත්‍ර

විහාරස්ථාන 5කට පූජා භූමි සන්නස් පත්‍ර

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ඓතිහාසික මෙන්ම පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) සිදු විය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රදේශ, පූජා භූමි ලෙස නම් කරමින් එම පූජා භූමිවලට අදාළ සන්නස් පත්‍ර පිළි ගන්වන ලදි.

බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදී පැවසීය.

ඉතිහාසය හදාරන සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත් මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

නිදහසේ අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතියට ගරු කළ යුතු අතර රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහයන්ට හසු නොවී කටයුතු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

වෙල්ගම රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත ද පාතදුම්බර මිටියාවතේ මීගම්මන ග්‍රාමයේ පිහිටි, මීගම්මන රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ද පිරිනැමිණ.

තවද කොළොම්තොට ගංගොඩවිල ග්‍රාමයේ පිහිටි ගංගොඩවිල ශ්‍රී විජයාරාම රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී අමුණුමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූ අතර පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මින්නේරිය මහසෙන් රාජ මහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති මාතලේ උඩුගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ද රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමයේ පිහිටි මැදගොඩ ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එහි භාරකරු වන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙත ද පිරිනැමීය.

මහා විහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ සාසනරතන නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ පාර්ශ්වයේ වැඩබලන මහා නායක රුසියාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද බුදධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT