Home » හොර අංක වාහනයක් තබාගැනීම මුතුහෙට්ටිගමට ඇප රියැදුරුට නඩු

හොර අංක වාහනයක් තබාගැනීම මුතුහෙට්ටිගමට ඇප රියැදුරුට නඩු

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ව්‍යාජ ලේඛන සකසා නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (27) නියෝග කළේය.

දැනට ඇප මත මුදාහැර සිටින පළමුවන සැකකාර රියැදුරු පොලිස් කොස්තාපල්ට රථ වාහන වැරදි සම්බන්ධයෙන් අදාළ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසටත් මෙම වාහනය සම්බන්ධයෙන් එහි අයිතිකරුවන් සොයා එම සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන අනාවරණය වන කරුණු අනුව සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය. පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනි දින පාණදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් ගාල්ල නගරයේදී සුඛෝපභෝගී වාහනයක් නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම රථයේ සවිකර තිබූ අංක තහඩුව ව්‍යාජ එකක් වූ අතර, වාහනය ද ලියාපදිංචි කර නැති එකක් බවය.

වාහනයේ චැසි අංකය මියගිය කාන්තාවකගේ නමට තිබූ වාහනයක චැසි අංකයක් බව ද මෙම රථයේ කොටස් රජයට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස ගෙන්වා මෙරටදී එකලස් කර ඇති එකක් බවට ද අනාවරණය වී ඇත.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT