වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.
බර්ලින් ග්ලෝබල් සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 28 සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්, බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ, කසකස්තාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව්, යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයන් සහභාගි වනු ඇත. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.
පෙරදිග ජර්මානු රාජ්‍ය කවුන්සිලයේ මෙන්ම එක්සත් ජර්මනියේ ෆෙඩරල් චාන්සලර් නිවහන වූ, ඓතිහාසික ස්ථානයක් වන යුරෝපීය කළමනාකරණ සහ තාක්ෂණික පාසල් (ESMT) මණ්ඩපයේදී සමුළුව පැවැත්වීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා සිය ජර්මන් නිල සංචාරයේදී ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා මෙන්ම ජර්මනියේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්, ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගමයේ (DHIK) සාමාජිකයන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. මෙම නිල සංචාරය අතරතුර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ජෙන්ස් ප්ලොට්නර් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් ජර්මානු විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් බැගර් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත. ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ උපදේශක ආර්ථික විද්‍යාඥ දේශාල් ද මෙල් යන මහත්වරුන්ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින අතර ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුනි මුතුකුමාරණ මහත්මිය ද සාකච්ඡා සඳහා සහභාගි වනු ඇත
ශිරෝමි අබයසිංහ