කුරුන්දි රාජ මහා විහාරස්ථානය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලුවලට විසඳුම් ලෙස පුරාවිද්‍යා රක්ෂිතයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක් බෞද්ධ විහාරස්ථානයක්, හින්දු කෝවිලක් හා පොදු පහසුකම් සඳහා වෙන් කිරීම ඇතුළු යෝජනා තුනක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික කටයුතු හා සහජීවන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය, තරුණ, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි.
කුරුන්දි රාජ මහා විහාරය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු හමුවට කැඳවා තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා, කුරුන්දි රාජ මහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළේය. එබැවින් මෙම භූමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිති වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රාජ මහා විහාරය ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229ක් අයත් වන බව මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගත් එම ප්‍රදේශයේ පවතින ස්මාරක පදනම් කර ගනිමින් මෙම භූමි ප්‍රමාණය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම කුරුන්දි රාජ මහා විහාරය ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සූදානමින් පසු වන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් කමිටුව හමුවේ පැවසීය. එම නැවත ගවේෂණය මාස 6ක් තුළ සිදු කිරීමට සැලසුම් කර තිබේ.
එමඟින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන එම ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත් පුරාවිද්‍යා වටිනාකමක් නැති ප්‍රදේශ නිදහස් කිරීමට ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර දැනටමත් උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ක්‍රමානුකූලව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට, කමිටුව බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම කුරුන්දි රාජ මහා විහාරය ආශ්රිත ප්‍රදේශය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැඟිය යුතු බව කමිටු සාමාජිකයෝ පැවසූහ. කුරුන්දි රාජ මහා විහාරය ආශ්රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ පිරිස්වලට අහිමි වන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබා දීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව බලධාරීහු පැවැසූහ.