“දවසට තුන් හතර වතාවක් නංගීට මල්ලී කෝල් ගන්නවා. නමුත් 26 වැනිදා හවස් වරුවටම කෝල් ගත්තේ නැහැ. ඒවාගේම ඒ දෙන්නා කෑම කෑවාද කියලා අහලා බලලා තමයි එයා කෑම කන්නේ. අපිට හිතා ගන්න බැහැ එහෙම කෙනකුට ඇයි මේ විදිහට වුණේ කියලා” යැයි කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ හදිසි පිපිරීමකින් මරණයට පත් ගුවන් හමුදා නිලධාරියාගේ මරණයෙන් මහත් වේදනාවට පත් සොහොයුරිය එසේ පවසන්නට විය.
කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ (වෙඩි පිටිය) සේවය කරමින් සිටියදී කිසියම් පිපිරීමකට ලක්වී බරපතළ පිලිස්සීම් තුවාල ලබා සිටි නායක ගුවන් භට ආර්.ඩී.ටී.එම්. තුසිත ලක්මාල් රණසිංහ නැමති එක් දරු පියා අවාසනාවන්ත අයුරින් කල්පිටිය රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව කියයි.
තුසිත ලක්මාල් පොල්ගහවෙල, උඩපොලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, විවාහයෙන් පසුව ආණමඩුව පල්ලම පහලයාය, ඉබ්බන්වෙල තම බිරියගේ නිවෙසේ මරණයට පත්වන විට පදිංචියට ගොස් තිබුණි.
වසර 8කට පෙර ගුවන් හමුදාවට එක්වූ ඔහු දිවයිනේ ප්‍රදේශ රැසක සේවය කර පසුව පාලවිය ගුවන් හමුදා කඳවුරේ සිට කන්දකුලිය ගුවන් හමුදා ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබුණි.
තුසිත ලක්මාල් පිරිමි දරුවන් දෙදෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුත් පවුලක දෙවැනියා විය.
ඔහුගේ වැඩිමල් සොහොයුරාද ගුවන් හමුදා නිලධාරියකු වීම නිසාම ගුවන් හමුදාව තුසිතගේ සිත ගොස් තිබූ බවත් ඒ නිසාම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු ගුවන් හමුදාවට එක්වීමට තුසිත කටයුතු කර තිබුණි.
2015 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ඩිප්ලෝමාවක් හැදෑරීමට යමින් සිටි පල්ලම ඉබ්බන්වෙල පදිංචි රශ්මී කෞෂල්‍යා විජය බණ්ඩාර සමඟ ඇති කර ගත් සම්බන්ධතාව මත ඇය සමඟ විවාහ වූ තුසිත නිහතමානී ගති පැවතුම් ඇති නිහඬ චරිතයක් විය.
තම පුතුට යාන්තම් වයස මාස 11ක් ගත වන විට තුසිත මෙලොව හැර යෑම හදවත් සසල කරවන පුවතක් විය.
තුසිත විවාහයෙන් පසු බිරියගේ මවුපියන්ගේ නිවෙසේ නැවතීමට තීරණය කර තිබුණේ බිරියගේ රැකියාවට පහසුවක් ලබා දෙමිනි. ඇය පොල් පර්යේෂණායතනයට අයත් පල්ලම, අඹකැලේ බීජ හා රෝපණ ඒකකයේ සේවයේ නිරතව සිටියි.
කෙසේ නමුත් බිරියට හා පුංචි පුතුට පමණක් නොව හැම අයකුගේ සිත් දිනාගත් තුසිත අද නිහඬව ජීවිතය හැර ගොස් සිටියි.
මේ සිදු වීමෙන් තුසිතගේ මවුපියන් සේම බිරියගේ මවුපියන් හා ඥාතීහු ද මහත් කම්පාවට පත්ව සිටිති.
තම නැඟණියගේ සැමියාගේ වියෝව ගැන කම්පා වූ සොහොයුරිය වන සශීකලා මධුෂානි විජය බණ්ඩාර (නෑනා) මෙසේ පවසන්නට විය.
‘අපේ නංගීට තුසිත මල්ලි හමු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණ සමාජ විද්‍යා ඩිප්ලෝමාවක් හදාරන්න යද්දී. මමයි නංගියි දෙන්නාම ඒ ඩිප්ලෝමාව කළා.
බස් එකේදී හිතවත් වෙලා නිතර කතා කරලා පස්සේ ගෙවල්වලින් කැමති වෙලා තමා දෙන්නා විවාහ වුණේ. මල්ලී හරිම හොඳ කෙනෙක්. එයා මම දැනුවත්ව කාටවත් වරදක් කරලා, හිත් රිදෝල නැති කෙනෙක්.
මල්ලි 12 වැනිදා නිවාඩු ඇවිත් ගියේ. ආයේ 3 දා එන්න හිටියේ. එයා වැඩට ගියාම නංගීට දවසට තුන් හතර වතාවක් කතා කරනවා. නමුත් 26 වැනිදා දවල් කතා කළාට පස්සේ කතා කරපු නැති නිසා දුරකතනයට අරන් තිබුණත් එය වැඩ කරලා නැහැ.
පස්සේ එයාගේ කැම්ප් එකේ යාළුවන්ට කතා කරාම හැම කෙනාම දුරකතනය කට් කරලා. පස්සේ මල්ලීගේ ලොකු අයියා එයා තමා මල්ලිට වුණ කරදරය හොයාගෙන තිබුණේ.
පස්සේ ගුවන් හමුදාවේ කට්ටිය ගෙදර ඇවිත් පණිවිඩය කියලා තිබුණා. අපිට හිතා ගන්න බැහැ. මොකද වුණේ කියාලා.
මෙයා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ පාඨමාලාවක් හදාරලා තමයි ඔය බෝම්බ පුපුරන ඒවාට ගියේ.
නමුත් එතන වුණ දේ ගැන අපිට තාම හරියට කියලා නැහැ. මොනා වුණත් පුදුම දුකක්. ජීවිතය පටන් ගත්තා විතරයි ඇය පවසන්නට විය.
නායක ගුවන් භට තුසිතගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කන්දකුලිය ගුවන් හමුදා ඒකකයේදී පුත්තලම මහේස්ත්‍රාත් විසින් 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණි.
ඒ සමඟම පිපිරීමෙන් මරණයට පත්වූ තුසිතගේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා 28 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කියයි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ