Saturday, May 10, 2025
Home » කොටහේන පොලිසියේ පිස්තෝලයක් සමඟ ජීව උණ්ඩ අතුරුදන්

කොටහේන පොලිසියේ පිස්තෝලයක් සමඟ ජීව උණ්ඩ අතුරුදන්

- අතුරුදන් අවිය ගැන පොත්වල කිසිදු සටහනක් නැහැ

by sachintha
September 28, 2023 12:56 am 0 comment

කොටහේන පොලිසිය සතු පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ පෙරේදා (26) සිට අස්ථාන ගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. උප සේවා රාජකාරි භාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව උසස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අස්ථාන ගත වූ බව කියන ගිනි අවිය යම් නිලධාරියකු පිටතට රැගෙන ගිය බවට අදාළ පොත්පත්වල ද කිසිදු සටහනක් හෝ නොමැති බවත් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අස්ථානගත වූ ගිනි අවිය සොයා පෙරේදා (26) පොලිසිය තුළ නඩු භාණ්ඩ දැඩි පරීක්ෂාවට ලක් කර ඇත.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) කොටහේන පොලිසිය වෙත පැමිණ විශේෂ විමර්ශනයක් ද පවත්වා ඇති බවත් අනාවරණය වේ.

මෙම ගිනි අවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් ද සැකයක් හට ගෙන ඇති බවත් ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු ද යන්න පසු විපරමක් සිදු කිරීම සඳහා විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමු වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT