Home » සමනල වැවේ මැණික් පතල් කැණීමට අවසර දුන්නොත් තවත් ජල කාන්දු ඇතිවෙයි

සමනල වැවේ මැණික් පතල් කැණීමට අවසර දුන්නොත් තවත් ජල කාන්දු ඇතිවෙයි

-ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සරත් අබේරත්න අනතුරු අඟවයි

by sachintha
September 28, 2023 1:00 am 0 comment

සමනල වැව ජලාශයේ මැණික් පතල් කැණීමට අවසර දුන්නොත් ජලාශයේ පතුල දුර්වල වී දැනට තිබෙන ජල කාන්දු හැර අලුතින් ජල කාන්දු වීම්ද සිදුවීමේ අවදානමක් ඇතැයි ජලාශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සරත් අබේරත්න මහතා පැවසීය.

පෙරේදා 26 වනදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා (26) පැවති අවස්ථාවේ සමනලවැව ඉංජිනේරුවරයා පැවසුවේ සමනලවැව ජලාශය ඉදිකළ ප්‍රදේශයේ භූ විෂමතාවන් නිසා ස්වභාවයෙන්ම එහි පතුළේ ආබාධ සහිත බවයි. ජලාශය පතුළේ අඟල් දහයක අඩියක පමණ පස් තට්ටුවකින් වැසී ඇති බවත් එම නිසා ජලාශයේ මැණික් පතල් කැණිම් කළොත් යළිත් ජල කාන්දුවක් ඇතිවීමට ඉඩ ඇතැයි ද ඉංජිනේරුවරයා පැවසීය.

පසුගිය වියළි කාලගුණික තත්ත්වය නිසා සමනලවැව ජලාශයේ ජල මට්ටම සියයට එකටත් වඩා අඩුවු නිසා එහි මැණික් සම්පත ගොඩගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැඟීමේ පාර්ලිමේන්තු ආංශික කමිටුව රාජ්‍ය ආයතන කීපයකට දැනුම් දී තිබුණි.එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ ඩොලර් මිලියන දෙදාහක මැණික් සමනලවැව ජලාශයට යටවු ඉඩම්වලට යටවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තක්සේරු කර ඇති බවයි.

එම නිසා පාරිසරික හානි සිදු නොවෙන ලෙස මැණික් පතල් කැණීමට ඇති හැකියාව ගැන සොයා බලා වාර්තා ලබාදෙන ලෙස රාජ්‍ය ආයතන කීපයකට පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කර තිබුණි. සමනලවැව ජලාශයේ ජල කාන්දුවෙන් තත්පරයට ඝන මීටර් දෙකයි දශම දෙකක ජල ධාරිතාවක් පිට වෙන බවත් එම ජලය කල්තොට වාරිමාර්ග සඳහා මුදා හැරෙන බවත් ඉංජිනේරුවරයා මෙහිදී සඳහන් කළේය.

කල්තොට වාරිමාර්ග සඳහා අවශ්‍ය වනුයේ තත්පරයට ඝන මිටර් තුනක ජල ධාරිතාවක් පමණක් බවද එම අතිරේක ජල ප්‍රමාණය ද මුදාහරින බවද ඉංජිනේරු සරත් අබේරත්න මහතා පැවසීය. සමනලවැව ජලාශය ඉදිකිරීමේදී කල්තොට ගොවි ජනපදයට ජලය මුදාහැරීමට වෙනම කරාමයක් නිර්මාණය කර ඇතැයි ද අදටත් ජල කාන්දුවේ ජලය ප්‍රමාණවත් නොවෙන විට එම වාරිමාර්ග කරාමයෙන් ජලය මුදාහරින බවද ඉංජිනේරුවරයා පැවසීය.

සමනලවැව ජලාශය ආශ්‍රිතව සංචාරක කලාපයක් පිහිටුවීමේ යෝජනාව ගැන අදහස් දක්වමින් ඉංජිනේරුවරයා පැවසුවේ එහි ධනාත්මක තත්ත්වයක් ඇති බවයි. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ නිර්දේශ ලබාගෙන ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ හැකි බවද ඔහු පැවසීය. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණ.

කහවත්ත නිරෝෂණ පෙරේරා කුරුවිට – කේ. ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT