අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරන සෙල්ලප්පෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඊයේ (27) ඉල්ලීමක් කළේය. ජීවිත ආරක්ෂාවට තර්ජනයක් නැහැ.
සැකකරු මේ වනවිටත් ඇති තරම් සල්ලි වියදම් කර තිබෙනවා නේදැයි එහිදී මහේස්ත්‍රාත්වරයා නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී පිළිතුරු දුන් නීතිඥවරයා කියා සිටියේ ඔහුගේ මුදල් අවසන් වෙමින් ඇති බවය. නීතිඥ ගාස්තු ගෙවන්නවත් මුදල් නැහැ. එහෙයින් මෙම ඉල්ලීම සිදු කරන බව ද නීතිඥවරයා කියා සිටියේය. තම සේවා දායකයාට පොලිස් නිලධාරීන්ගෙන් තර්ජන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමසීමට යාමේදී දෙපැත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටින බැවින් තොරතුරු ලබා ගැනීමේ ගැටලු මතුව ඇතැයිද නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙහිදී පෙන්වා දුන්නේය. අද මම සැකකරුවන් දෙදෙනා නිරීක්ෂණය කරනවා. එහිදී විමසීමක් කර අවශ්‍ය නියෝග ලබා දෙන බව ද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී කියා සිටියේය.
මගෙ සේවාදායකයාගේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා. අනෙක් රැඳවියන්ට ලබා දෙන පහසුකම් දෙන්න. නිවෙසින් රැගෙන එන වියළි ආහාර ද්‍රව්‍ය කිහිපයක් ළඟ තබා ගැනීමට අවසර දෙන්න. නිවෙසට, විදේශගතව සිටින බිරියට දුරකතනයෙත් කතා කිරීමට අවසරයක් ලබා දෙන්න යැයි මෝසම ගොනු කරමින් ඉල්ලා සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා දහවල් කාලයේ යම් වේලාවක් කාර්යාලයේ රඳවා සිටි තම සේවාදායකයා මේ වනවිට දිනය පුරාවට රඳවා සිටින්නේ සිර මැදිරියේ බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ද නීතිඥ ජාලිය සමරසිංහ මහතා මෝසමක් ගොනු කරමින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එමෙන්ම හරක් කටා සම්බන්ධයෙන් ද මෝසමක් ගොනු කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වීය. ඔහුගේ දතේ අමාරුවක් ඇති බව කියා සිටී නීතිඥවරුන් ඒ සඳහා සුදුසු නියෝග සිදු කරන ලෙසත් ඔහු සමඟ කතා කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. හරක් කටා, කුඩු සළිඳු නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ 27 පස්වරු 1.45 ගියේය.
එහි පැයකට ආසන්න කාලයක් ඔවුන් නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා පස්වරු2.45ට ඉන් පිටව ගියේය.
සුභාෂිණී සේනානායක