බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සාහ දැරූ බව කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය.
තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනකු, සුරාබදු නියාමක රියැදුරකු මෙසේ වැඩ තහනමට ලක්ව තිබේ.
වලස්මුල්ලේ බීඩි නිෂ්පාදකයකුගේ බලපත්‍රය ඉකුත් ජුනි මස 26 වැනිදායින් අවසන් වීම හේතුවෙන් පසුගිය 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා ඇතැයි වාර්තා වී ඇති අතර නඩු නොපවරා සිද්ධිය ගොඩින් විසඳා දීමට රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයාගෙන් ඉල්ලා තිබූ බවත් බීඩි ව්‍යාපාරිකයා ඊට විරෝධය පළ කර තිබූ බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබිණ.
බීඩි ව්‍යාපාරිකයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගත් බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
සුභාෂිණී සේනානායක