තඹුත්තේගම මහවැලි එච්. කලාපයට ලබා දී ඇති ශීතාගාරය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන දිරාපත්වන බව තඹුත්තේගම එච්. කලාපයේ ගොවියෝ පවසති. ගොවීන්ගේ පහසුව සහ ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය සුරක්ෂිතව කල් තබාගෙන වෙළෙඳ පොළට යැවීමට දැනට වර්ෂ ගණනාවකට පෙර රජය මඟින් තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේ මෙම ශීතාගාරය ඉදිකර දී තිබුණත් එහි පාලනය අයාලේ ගොස් ඇති බවත්, කිසිදු වගකිවයුත්තෙක් ඒ සඳහා යොදවා නැති බවත් තඹුත්තේගම කෝන්වැව ගොවි සංවිධානයේ සභාපති කේ. ඒ. සුනිල් ශාන්ත මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ශීතාගාරය දිරාපත්වීමට ඉඩහැර එය වසා දමා එම ගොඩනැඟිල්ල දැනට බයිට් වර්ග සාදන අයකුට කුලියට දී ඇති බවයි. ගොවියන්ගේ පලතුරු සහ එළවළු මෙම ශීතාගාරයට දමා ගබඩා කිරීමට මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවද ඔහු කීය. මෙහි ගබඩා කරනු ලබන එළවළු සහ පලතුරු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයෙන් බෙදා හරින ද්‍රව්‍යවලට වඩා වැඩි මුදලකට අලෙවි කිරීම බලාපොරොත්තු වන බවත්, මේ වන විට එම බලා පොරොත්තු සුන්වී ඇති බවත් සඳහන් කළේය. මේ ශීතාගාරය සම්බන්ධව කිසිදු සම්බන්ධීකරණයක් සිදු නොවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම ගබඩාවෙන් ගොවියන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද වැඩිදුරටත් කී ඒ මහතා, මෙම කාර්මික ගොඩනැඟිල්ල බයිට් සෑදීමට කුලියට දීම නොකළ යුත්තක් බව ද කියා සිටියේය. ගොවි සමිතිය මඟින් කෝමාරිකා පලතුරු බීම නිපදවීමට වැඩසටහනක් දියත් කර ඇතත් එය කරගෙන යෑමට මහවැලිය මඟින් ඉඩ නොදුන් බවද ඔහු පෙන්වා දුන්නේය.
සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් ටික කලක් සහල් පැකට් කිරීමට මහවැලියෙන් අයකුට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඔහු නොකියාම ගොස් ඇති බවත්, මෙම ස්ථානයේ විදුලි බිල තවමත් තමන්ගේ නමින් එන බවත් කියා සිටියේය. එමෙන්ම දැන් තමන් මෙම ගොවි සමිතියේ නැති බවත්, එම සංගමය අක්‍රිය සංගමයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම ගබඩාවේ ශීතකරණ යන්ත්‍ර දිරාපත් වෙමින් මහජන මුදල් නිකරුණේ විනාශ වෙනවා දැකීම කනගාටුවට කරුණක් බවත්, ශීතකරණ යන්ත්‍රය පුද්ගලික ආයතනයකට දීමට හෝ රජය මඟින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට හෝ කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ශීතකරණය ඇතුළත් ගබඩාව සම්බන්ධව මහවැලි එච්. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර අයි. රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මෙම ප්‍රදේශයට නවකයකු නිසා ඒ සම්බන්ධව තොරතුරු නොදන්නා බවත් පසුව සොයා බලා දන්වන බවත්ය. මෙම කාර්යාලයේ තවත් නිලධාරියකු පැවසුවේ මෙම ශීතාගාරය යම් අයකුට කුලී පදනමක් මත ලබා දිය හැකි බවත්, එවැන්නකු ඇත්නම් දන්වන ලෙසත්ය. ලැබෙන තොරතුරු මත මෙම ශීතාගාරය කිසිදු පල ප්‍රයෝජනයක් නොගෙන යන්ත්‍ර සූතු දිරාපත්වෙන බැවින් ප්‍රයෝජනයට ගත හැකි වන සේ ක්‍රියා කරන ලෙස උපදෙස් දී ඇති බවද ඔහු කීය.
තඹුත්තේගම. සී.එම්. ආරියපාල