Home » ආණමඩුව බාර් එකේ ගෝලයාගෙ ඉඩමේ මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක්

ආණමඩුව බාර් එකේ ගෝලයාගෙ ඉඩමේ මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක්

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ආණමඩුව ලබුගල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් ආණමඩුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර තිබුණි.

කිසිවකුටත් සැක නොසිතන ලෙස ඉඩම වටා කළු පැහැති ආවරණ යොදා වගා කටයුතු සිදුකරන මුවාවෙන් කලක සිට මෙම ස්ථානයේ කසිප්පු පෙරීමේ ජාවාරම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම අදාළ ස්ථානයට යන විටත් එහි කසිප්පු පෙරීම සඳහා බැරල් 25කට ආසන්න ප්‍රමාණයක අදාළ සාන්ද්‍රණ දමා තිබූ බවත් කිසිවකුටත් සැක නොසිතන ලෙස ගෑස් භාවිතා කරමින් විශාල ලිප් සකසා මෙම ජාවාරම සිදුකර ඇති බව ද කියයි. අදාළ ජාවාරමේ කසිප්පු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පොලිස් නිලධාරීන් විසින් පළමුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහි කසිප්පු ස්ප්‍රීතු තොගයක් තිබී සොයා ගත් බවත් පසුව අදාළ කසිප්පු ස්කාගාරය වැටලූ බවත් පොලිස් නිලධාරීන් පවසති. එහිදී කසිප්පු පෙරීමේ නිරතව සිටි සැකකරුවකු ද අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වී තිබේ.

පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී සනාථ වී ඇත්තේ මෙම කසිප්පු පෙරීමේ ස්ථානය පිහිටි ඉඩම ආණමඩුව නගරයේ මත්පැන් අලෙවි සැලක සේවය කරනු ලබන අයකුට අයත් බවයි. කෙසේ වෙතත් මෙම ස්ථානයේ පෙරීම් සිදුකරන කසිප්පු කුමන ස්ථානයකට ප්‍රවාහනය කර ඇත්දැයි තවමත් පොලිස් කණ්ඩායම් සනාථ කර ගෙන නොමැති අතර පවතින යම් සැක දායක තොරතුරක් මත අදාළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පවසයි. අදාළ වැටලීමේදී නීති විරෝධී කසිප්පු පෙරීම සඳහා යොදා ගත් බැරල් 26ක්, දඟර, ගෑස් ලිප්, ගෑස් ටැංකි, කසිප්පු පෙරීම සඳහා රැගෙන ආ සීනි හා වෙනත් දෑ තොගයක් පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

වැටලීමේදී කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් එක්ලක්ෂ දොළොස්දහස් දෙසිය පනහක් හා ගෝඩා මිලිලීටර් තිස්අටලක්ෂ පනස්හයදහස් පන්සියයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒවා එම ස්ථානයෙදීම විනාශ කිරීමට පොලිස් කණ්ඩායම කටයුතු කර තිබුණි. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. එස්. කේ. රූපසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරී කේ. එම්. ජී. එස්. ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණයෙන් වැටලීම සිදුකර ඇත.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT