Tuesday, December 5, 2023
Home » ආසියානු රිදී දිනු ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද ගෙදර එති

ආසියානු රිදී දිනු ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද ගෙදර එති

-නේපාල ක්‍රිකට් පිලෙන් විස්සයි20 වාර්තා වැස්සක්

by sachintha
September 28, 2023 1:00 am 0 comment

දහනව වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා පදක්කමක් හිමි වූයේ වසර 9කට පසුව වීම කැපී පෙනෙන අතර, මේ ක්‍රීඩා උලෙළේදී ක්‍රිකට් ඉසව්වෙන් හිමි වූ තෙවැනි පදක්කම මෙයයි. මින් පෙර 2014 වසරේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කමත්, කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කමත් දිනා ගෙන තිබිණි.මේ අතර ඊයේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරග ආරම්භ කරමින් මොංගෝලියාවට එරෙහිව පැවති පළමු තරගයේදී ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට නේපාල කණ්ඩායම සමත් විය.

විස්සයි20 ආකෘතිය යටතේ සෙජෑන්ග්හි තාක්ෂණ විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු (314/3), වේගවත්ම ශතකය සහ අර්ධ ශතකය නේපාල පිතිකරුවන් වාර්තා කළහ.

ඊයේ තරගයේදී නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 314ක් රැස් කළ අතර, මින් පෙර එම වාර්තාවට හිමිකම් කී ඇෆ්ගනිස්තානය 2019දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 278ක් රැස් කර තිබිණි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කුෂාල් මල්ලා විස්සයි20 පිටියේ වේගවත්ම ශතකය තමන් සතු කර ගත්තේ පන්දු 34කදීය. ඒ සමඟ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් සහ ඉන්දියාවේ යුවරාජ් සිං පන්දු 35කින් තබා තිබූ වාර්තා මැකී ගියේය.ඉනිම නිමා වන විට ඔහු පන්දු 50කින් නොදැවී ලකුණු 137ක් රැස් කර තිබුණේ හතරේ පහර 8ක් සහ හයේ පහර 12ක් සමඟිනි. යුවරාජ් සිං පන්දු 12කින් තබා තිබූ වාර්තාව මකා දැමීමට දීපෙන්ද්‍ර සිං අයිරී සමත් වූයේ පන්දු 9කින් ලකුණු 50ක් රැස් කරමිනි. නායක රෝහිත් පෝඩෙල් පන්දු 27කින් ලකුණු 61ක් රැස් කළ අතර, ඔහු කුෂාල් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 193ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 63කිනි. එය වාර්තා අතරට එක් වූයේ විස්සයි20 තරගයක තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟුණු හොඳම සබඳතාව ලෙසිනි.

නේපාල කණ්ඩායම මේ ඉනිමේදී හයේ පහර 26ක් එල්ල කරමින් විස්සයි20 ඉනිමකදී වැඩිම හයේ පහර වාර්තාව ද සතු කර ගත්තේය. ඒ සමඟ ඇෆ්ගනිස්තානය ඉනිමකදී රැස් කර තිබූ හයේ පහර 22ක වාර්තාව බිඳ වැටිණි.

මේ තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොංගො­්ලියානු කණ්ඩායම ඕවර 13.1කදී ලකුණු 41කට දැවී ගිය අතර, දවාසුරෙන් ජමියන්සුරෙන් ලකුණු 10ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. මේ අනුව නේපාලයට ලකුණු 273ක ජයක් හිමි වූ අතර, එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය. මොංගෝලියානු ක්‍රීඩකයන් සියලු දෙනා මේ තරගයේදී ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් දිනා ගැනීම විශේෂත්වයකි.

මේ අතර කාම්බෝජය සමඟ පැවති දෙවැනි තරගයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගැනීමට ජපානය සමත් විය.

පිහිනුම්

පිහිනුම් ඉසව්වෙන් ගංගා සෙනෙවිරත්න ඊයේ කාන්තා මීටර් 100 පසුපස ආර මූලික වටයේ දෙවැනි තරගයට එක් වූ අතර, ඇය තරගය නිමා කළේ මිනිත්තු 1:07.21කිනි. එහිදී ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. මේ ඉසව්වේදී සිය හොඳම දක්ෂතාවට (1:04.08) ලංවීමට අසමත් වූ ගංගාට සමස්ත ක්‍රීඩිකාවන් 27 දෙනා අතුරින් හිමි වූයේ 20 වැනි ස්ථානයයි.

චෙස්

චෙස් ඉසව්ව යටතේ ඊයේ 8 වැනි වටයේ තරගයට එක් වූ සුසල් තෙව්ජාන්ට පිලිපීන ක්‍රීඩකයා හමුවේ පරාජය වීමට සිදු වූ අතර, අනතුරුව 9 වැනි වටයේදී කිර්ගිස්තාන ක්‍රීඩකයකු සමඟින් තරග කළ ඔහු එම තරගයේ ජය හිමි කර ගැනීමට සමත් විය.ඊයේ චෙස් ඉසව්ව නිමාවට පත් වූ අතර, සමස්ත ක්‍රීඩකයන් 34 දෙනකුගෙන් සුසල්ට හිමි වූයේ 15 වැනි ස්ථානයයි. එහි රන් පදක්කම චීනය දිනාගත් අතර, රිදී සහ ලෝකඩ පදක්කම් උස්අබෙකිස්තාන ක්‍රීඩකයන් සතු වූහ.

අද තරග බිමේ

බොක්සිං ඉසව්වේ කිලෝග්‍රෑම් 63 බර පන්තිය යටතේ නිරාජ් විජේවර්ධන අද තරග බිමට පිවිසීමට නියමිතය. ඔහු මේ ක්‍රීඩා උලෙළට නම් කළ මූලික සංචිතයට එක්ව නොසිටි අතර, ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ මැදිහත් වීම මත ඔහුට මේ ක්‍රීඩා උලෙළට එක්වීමට හැකි විය. ඊට අමතරව පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහ අකලංක පිරීස් මීටර් 50 සමනල ආර ඉසව්වේ මූලික වටයේ තරගවලට එක් වන අතර, ගොල්ෆ් සහ ඊ ස්පෝට්ස් ඉසව් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරිපත් වීමට නියමිතය. ඊ ස්පොට්ස් පිලට චමුදිත ධර්මසිරි, මොහොමඩ් රිස්වි, රමේෂ් ප්‍රනාන්දු සහ මොහොමඩ් රිහාම් ඇතුළත් වන අතර, ටී. තරංගරාජා, මිතුන් පෙරේරා, අනුර රෝහණ සහ කේ. ප්‍රබාගරන් ශ්‍රී ලංකා ගොල්ෆ් කණ්ඩායමට ඇතුළත් වෙති.

නිරෝෂාන් ප්‍රියංකර

චීනයේ හැන්ජෝ නුවර සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT