අද දිනයෙහි පින්වත් පිරිස සිල් සමාදන් වීම් භාවනා කිරීම් වැනි ප්‍රතිපත්ති පූජාමය පින්කම්වලත් බුද්ධ පූජා, බෝධි පූජා වැනි ආමිස පූජා පින්කම්වලත් වෙනදාට වැඩි උනන්දුවකින් යෙදී සිටින බව ඉතා ප්‍රකටව දැකිය හැකි වේ. එයට හේතුව අද පුර පසළොස්වක පොහොය දිනයක් වීමයි. මෙම පුර පොහෝ දිනය අප විසින් හඳුන්වනු ලබනුයේ බිනර පුර පසළොස්වක් පෝය යනුවෙනුයි. වස් කාල සීමාවට අයත් වැදගත් පොහෝ දිනයකි. ගිහියන් වූ හැම දෙනාමත් පැවිදි මහා සංඝරත්නයත් වැඩි උනන්දුවකින් ආගමික වත්පිළිවෙත්වල යෙදෙමින් ශාසනික ප්‍රතිපත්ති සපුරා ගන්නා වකවානුවක් ලෙස වස්සාන කාලය සඳහන් කළ හැකිය. මෙවන් වූ පින්බර සමයක බිනර පුර පොහෝ දිනයෙහි වැදගත්කම පිළිබඳ විමසා බැලීම හැම දෙනාගේම ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇත.
බිනර පොහෝ දිනය බෞද්ධ වූ අපට වැදගත් වීම සඳහා හේතු වන කරුණු කිහිපයක් පිළිබඳ හැමදෙනාගේ අවධානය යොමු කළ හැකිව තිබේ. ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් සිදු වූ දිනයක් වශයෙන් සංස්කෘතිකමය ලෙසින් මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද අද දිනය සිහිකටයුතු දිනයක් වේ.
ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනර පුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳ සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹිණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන් වහන්සේ එකහෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳ ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියාය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලදි. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදි. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරනු ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනවින් විස්තර කොට තිබේ.
මෙසේ සසුන්ගත වීම සඳහා ඉදිරිපත්ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේදී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන් වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙහි මහා ප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියාය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත්ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහිදී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක.
අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොටදී මෙය පිළි ගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂ ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනර පුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.
විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳ කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකිය.
තෙරුවන් සරණයි !