ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක බව වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව ද රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගැයීමට ලක්ව තිබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි. එසේම දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.
වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ඇගැයීමක් සිදු කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇති කිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගැයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණිය යුතුව තිබෙනවා.
කාර්ය මණ්ඩල එකඟතාව ලබාගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදු කර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකිවනු ඇතැයි කියා විශ්වාස කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේදී බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා. වත්මන් බදු දැල තුළ සිටින කණ්ඩායමට අමතරව, බදු ගෙවිය යුතු පිරිස් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා. මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් සාකච්ඡා සියලු ණය හිමියන් සමඟ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා.
විදේශීය ණය ප්‍රශස්තකරණ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හුදෙකලා කර තිබෙන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. නමුත් විදේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ කිසිම රටක් අපට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර නැහැ. එම රටවල් ධනාත්මක ලෙස අපත් සමඟ එම සාකච්ඡාවල නිරතව සිටිනවා. දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වීමෙන් පසුව විදේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
මේ පිළිබඳ කිසිවකු සෘණාත්මක හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මීට වසරකට පෙර මේ රටේ පැවති ආර්ථික තත්ත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එදා සියයට 70ක්ව තිබූ උද්ධමනය අද වන විට සියයට 1.3ක් දක්වා පහළ බැස තිබෙනවා. උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසරේ දේශීය වෙළෙඳපොළේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 30ක මට්ටමක පැවතුණා. අද වනවිට එය සියයට 13ක ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා. එම අඩු වීම මහා භාණ්ඩාගාරයටත් විශාල ශක්තියක් බව කිවයුතුයි.
අද මෙරට විදෙස් සංචිත ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන්ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාමාන්‍ය පරිදි ලැබෙන්න පටන්ගෙන තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමඟ මේ වසරට වඩා එළැඹෙන වසරේ ආර්ථික වර්ධන මාර්ග සිතියම කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට සැලසුම් සකස් කර තිබෙනවා. රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි. අප සෑම අවස්ථාවක ධනාත්මකව සිතිය යුතුයි. මීට වසර 20කට පෙර සිදු කළ යුතුව තිබූ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ කුඩා රටවල් දියුණු වුණේ මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි.
රටක් ලෙස මුහුණදීමට සිදුවූ අසීරු කාලය අප දැන් පසුකරමින් සිටින බව කිවයුතුයි. ජනාධිපතිතුමා ගෙන යන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන ගියහොත් ස්ථීර ලෙසම අනාගතයේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින කණ්ඩායම්වලට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම සුබවාදී නොවිය හැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යෑමට හැකියාව ලැබෙනවා” යැයි පැවසීය.
මහින්ද අලුත්ගෙදර