දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිකළ නිවාස 100ක් ජනතාව වෙත ලබාදීම ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාසයක පදිංචි කිරීම යටතේ පසුගියදා ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් එක් වෙමිනි.
ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට අපේක්ෂිත දායකත්වය හඳුනා ගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය සේවය සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා ගැනීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 දෙනෙකු සඳහා මෙහිදී නිවාස හිමිකම්පත් ලබා දෙන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද මාලිගාවත්ත ලක් හිරු සෙවණ හා කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලබා දෙන ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය සංර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ ජීවත්වීම සඳහා ජීවිත සටනක යෙදුනු තමුන්නාන්සේලා බොහෝ කලක් අනවසර පදිංචිකරුවන් යන ලේබලය යටතේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කාලය අවුරුදු විස්සක් තිහක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ සුද්දන් හදපු දුම්රිය ආඥා පනතට අනුව තමුන්නාන්සේලා ඔක්කොමලා බරපතළ වරදක වැරදිකරුවන්. දුම්රිය රක්ෂිතය මොනම හේතුවක් නිසාවත් ඉදි කිරීම් සඳහා යොදාගන්න බැහැ.
නීතිය තමයි, දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැරදිකරුවන් කර දඩයකට නියම කිරීම. දුම්රියේ ගැටී මිය යන අය සඳහා සතයක්වත් වන්දි ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව බැඳී නැහැ. මොකද දුම්රිය මාර්ග රක්ෂිතය කාටවත් අයිති එකක් නොවෙයි. දුම්රිය සේවාවටයි අයිති. ඕනෑම වේලාවක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නීතියෙන් අවසරය, බලය තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා කිසිවකුටත් කිසිම හිමිකමක් හෝ කිසිම වන්දියක් නැතිව එළියට දමන්න අයිතිය තියෙද්දිත් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ණය ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවට ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා අපේ රටේ ජනතාවගෙන් පීඩනයට පත් වෙච්ච කොටසක් දීර්ඝ කාලයක් මේ තුළ ඉඳලා තියෙන නිසා ව්‍යාපෘතියේ මුදල්වලින් ඔවුන්ට ස්ථිර නිවාස ටිකක් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකතු වී සාදාදෙන ලෙස. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය මුදල්වලින් තමයි මෙම නිවාස සාදා තියෙන්නේ. මෙම එක නිවෙසක වටිනාකම ලක්ෂ එකසිය විස්සක් පමණ වෙනවා. නිසි පහසුකම් සහිත නිවෙසක් නැති සැමට වටිනාකමක් සහිත දේපොළක අයිතිය මෙයින් ලැබෙනවා.
මෙය දුම්රිය මාර්ගයේ හිටියට ලැබෙන වන්දියක් නොවෙයි. මෙය කරුණා සහගත ගෙවීමක්. මානුෂික පදනමක් යටතේ තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි මෙම නිවාස ලබාදෙන්නේ. ලැබෙන නිවාසයට යන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා පදිංචි නිවෙසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මොකද අපි හැමෝම රටේ පවතින නීතියට යටත් වෙන්න ඕනෑ, පවතින නීතියට ගරු කරන්න ඕනෑ, අරාජික තත්ත්වයක් යටතේ සමාජයක් ජීවත් කරවන්න බැහැ. මේ ලැබෙන්නේ තමුන්නාන්සේලාට ජීවිත කාලය තුළ ලැබෙන ඉතා වටිනා වත්කමක්. රජය ගෙයක් ලබා දෙන්නේ ණය අරගෙන. නිදහසින් පස්සේ පත්වූ සියලුම රජයවල් කරලා තියෙන්නේ කාගෙ ආණ්ඩු තිබුණත්, කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු කැබිනට් මණ්ඩලයේ හිටියත් පාරවල්, පාලම්, ඇනිකට්, ඇළවේලි, නිවාස යෝජනා ක්‍රම, විදුලි බලාගාර, පාසල්, රෝහල් හදලා තියෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරගෙන. ඒ ගත්තු ණය අමෙරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවා ගන්න බැරිව හිර වෙලා තියනවා. ඉදිරි අවුරුදු 5 – 6 තුළදී ගෙවෙන්නේ ඒ ගෙවන්න තියෙන ණයවලින් 37% යි. තව ඒ ණයවලින් 51% කට වැඩි ප්‍රමාණයක් ගෙවෙන්නේ ඉදිරි අවුරුදු 6ත් – 20ත් අතර. 12%ක් ගෙවන්න තියෙන්නෙ අවුරුදු විස්සකට පස්සේ, ඒ කියන්නේ 2050 වෙනකනුත් මේ රටේ ජනතාවට මේ ප්‍රශ්නයෙන් ගැලවිල්ලක් නැහැ. ඒ සඳහා දේශපාලන උත්තරයක් නැහැ. ආණ්ඩුව වෙනස් වුණත් ජනාධිපති කවුරු වුණත් මේ ණය ගෙව්වේ නැත්නම් මේ රටේ කිසිම ගනුදෙනුවක් කරන්න බැරි වෙනවා. රටක් ආණ්ඩුකරණයේදී ගත්ත ණය ගෙවිය යුතුයි. ගිය අවුරුද්දේ අපි ඔක්කෝමලා බදු ගෙව්වා, ආදායම් මට්ටම්වල වෙනසක් නැතුව හැමදෙනාම ලංකා ආණ්ඩුවට බදු ගෙව්වා.
අපි මිල දී ගන්න හැමදේටම බදු ගහලා භාණ්ඩයේ මිලට බද්ද එකතු වෙලා තියෙන්නේ. ඒවා වක්‍ර බදු. ඉහළ වැටුප් ආදායම් ලබා ගන්නා අයගෙන් සෘජු බදු අයකරනවා. ඒ සියලු බදුවලින් 2022 වර්ෂයේ ලැබිලා තියෙන්නේ බිලියන 1751 යි. ඒකෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට බිලියන 1265ක් වැය වෙලා. එය මුළු බදු ආදායමෙන් 72%ක්. සමෘද්ධිය ඇතුළු අනෙකුත් සහනාධාර ලබාදීමට බිලියන 506ක් වැය වෙලා. එය බදු ආදායමෙන් 28%ක්. එතකොට භාණ්ඩාගාරයේ සතයක්වත් ඉතිරි වන්නේ නැහැ. එයින් එහාට ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ. ගිය වර්ෂයේ ණය පොලිය බිලියන 1565ක්. ප්‍රාග්ධන වියදම බිලියන 715ක්. ඒවා ඔක්කොම ණයට අරගෙන තමයි ගෙවලා තියෙන්නේ. දැන් ණය ගන්නත් බැහැ මුදල් අච්චු ගහන්නත් බැහැ. ඒ නිසා අපි ඉන්නේ අමාරු තැනක, මේ සඳහා කිසිම දේශපාලන විසඳුමක් නෑ. ආර්ථික විසඳුමක් පමණයි තියෙන්නේ. ඒ සඳහා කොරියාව, චීනය, ඉන්දියාව වගේ පාසල් ළමුන් පාසල් තුළත්, විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලය තුළත්, ගොවීන් ගොවිපොළ තුළත්, කම්කරුවන් වැඩබිම තුළත් වැඩි වැඩියෙන් වැඩ කළ යුතුයි. ඒ තුළින් පමණයි රටට ගොඩයෑමක් තියෙන්නේ. මේක තමයි ඇත්ත යථාර්ථය.
ඔබතුමන්ලා එක්තරා තත්ත්වයකින් උඩට ඇවිල්ල තියෙනවා. ඒ තුළින් තමන්ගේ දරුවන්ට අනාගත ලෝකයට සරිලන ලෙස ඉගැන්විය යුතුයි. ඉදිරියට එන්නේ සාක්ෂරතාවය තුළින්, ඩිජිටල්කරණය තුළින් මිනිසුන් නැතුව වැඩ කරන ලෝකයයි. මේක තමයි හෙට දවසේ ලෝකය. ඒ ලෝකයට යන්න දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අලුත් ලෝකයට අවශ්‍ය කරන දැනුම දීලා ඒ දරුවා මේ රටට පමණක් නොවෙයි ලෝකයටම සම්පතක් වන දරුවන් ලෙස හදන්න කටයුතු කරන ඕනෑ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති හා සැලසුම්) ඩී. ජේ. ප්‍රේමතිලක, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකආරච්චි මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවාස හිමිකම්පත් ලාභීන් මෙම අවස්ථාවට විය.
සුභාෂිණී සේනානායක