Home » ලෝක සංස්කෘතික උලෙළින්…

ලෝක සංස්කෘතික උලෙළින්…

by sachintha
September 29, 2023 12:50 am 0 comment

තුර්කියේ සංචාරක හා සංස්කෘතික අමාත්‍යාංශයේ සහාය ඇතිව ඒබ්රිසම් සමූහයෙන් සංවිධාන කරන ලද ලෝක සංස්කෘතික උලෙළ 2023 සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද එක් විය.

පසුගිය 22 සහ 23 දිනවල තුර්කියේ අන්කාරා නුවර සර්මොඩන් පරිශ්‍රයේ මේ උලෙළ පැවැත්වු අතර, රටවල් 55ක තානාපති කාර්යාල මේ සඳහා එක්ව සිටියහ. මේ උලෙළ තුර්කි ජාතිකයන් සහ එහි වෙසෙන අනෙකුත් විදේශිකයන් අතර ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීමට අමතරව සිලෝන් ටී ඇතුළු ශ්‍රී ලංකා නිෂ්පාදන හඳුන්වා දීම ද සිදු විය‍.

මෙරට චිත්‍ර, හස්ත කර්මාන්ත, බතික්, සාම්ප්‍රදායික ඇඳුම්, ස්වභාව ධර්මයේ විචිත්‍රත්වය සහ සංස්කෘතිය විදහා දක්වන ඡායාරූප සහ සිලෝන් ටී ඇතුළත්ව මෙරට සංස්කෘතික අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් එහි විවෘත කර තිබිණි. මෙරට ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණි අමුත්තන් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් සහ අනෙකුත් සංස්කෘතික අංගවල විචිත්‍රවත් බවට දැඩි ලෙස ආකර්ෂණය වී තිබිණි. එහිදී ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මනාලියන්ගේ ඇඳුම්, අත්යන්ත්‍ර රෙදි සහ බතික්වලින් සාදන ලද අනෙකුත් සම්ප්‍රදායික ඇඳුම් ප්‍රදර්ශනය කරන ලද අතර, එම සාම්ප්‍රදායික ඇඳුම් ශ්‍රී ලංකා කුටිය වෙත පැමිණි තුර්කි සහ වෙනත් විදේශීය අමුත්තන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබිණි.

තේ වගාව, ලංකා තේ සැකසීම මෙන්ම එහි වසර 155කට අධික ඉතිහාසය නිරූපණය කරමින් ලංකා තේවල සුවිශේෂී ලක්ෂණත්, විවිධත්වයත් ඉස්මතු කරමින් සිලෝන් ටී පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් ද තානාපති කාර්යාලයෙන් සිදු කළ අතර, ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ දී සිලෝන් ටී පිළිගැන්විණි. රටවල සංස්කෘතිය විදහා දැක්වෙන වේදිකා ප්‍රසංග රඟදැක්වුණු අතර, විශේෂිත වීඩියෝ දර්ශන ද ප්‍රදර්ශනය කෙරිණි.

මෙවර උත්සවයට විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථාන, සංස්කෘතියට සම්බන්ධ තුර්කියේ දේශීය මහජන සංවිධාන, විශ්වවිද්‍යාලවල අදාළ දෙපාර්තමේන්තු නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු මාධ්‍ය සාමාජිකයෝ එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT