මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව පෙරේදා නිමාවට පත් විය. අවසන් තීරණය පසුවට දැනුම් දෙන්නේ මිස, කටුනායකින් ප්ලේන් එකට නැඟීමට පෙර IMF දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්, ලංකාවේ ඇති ගිණුමකට සල්ලි ට්‍රාන්ස්ර් කරන්නේ නැත. සාකච්ඡාහි ප්‍රගතිය මූලස්ථානයට වාර්තා කිරීමෙන් පසු, අවසන් නිගමනයට මූල්‍ය අරමුදල එළඹෙනවා ඇත.
උතුම් වූ භික්ෂුණී ශාසනය ආරම්භ වූ වප් පොහොය දිනයේ මූල්‍ය අරමුදල වැනි ලෞකික කතා සිදු කිරීම සම්බන්ධයෙන් පාඨකයෝ අප වෙත කමත්වා. රට බංකොලොත්භාවයට පමුණුවන ලද ක්‍රමවේදය සම්බන්ධයෙන් වියවුල් ගණනාවක් අපට තිබේ. කොන්ද කෙළින් තබාගෙන මේ ගැන කතා කළේ ඇමැති වජිර අබේවර්ධන පමණය. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අන් අයෙකුට බලයෙන් පවරා ගත නොහේ බව දැන දැනම දෙදෙනෙක් එක්ව ගත් තීරණය හේතුවෙන් එකම සරණ මූල්‍ය අරමුදල පමණක් බවට පත් විය. එතැන් සිට ගලා යන්නේ මූල්‍ය අරමුදල සමඟ ‘ගමනේයා’ යන, පෙළපාළිය වේ.
බංකොලොත් කිරීම වනාහි රටේ රෙදි ගැලවීමය. කුමන තත්ත්වයක් යටතේ වුවද කවුරුන් හෝ සිය ඇඳිවත ගලවන්නේ නැත. හිඳෙන්නටම අවුල් වූ ව්‍යාපාරිකයෝ පවා ඒ ගැන එළියේ කතා කරන්නේ නැත, වැඩේ අවුල් බව එළියේ පිරිස දැන සිටින්නේ වුවද, හේ කියා සිටින්නේ වැඩේ මැනේජබල් බවය. තමන් බංකොලොත් බව, ඔහුම පෝස්ටර් ගසා කිය කියා යන්නේ නම් වෙන්නේ ‘සලාකා බහිනවා’ වගේ කේස් එකකි.
සලාකා ව්‍යාපාරය කියන්නේ අසූව දශකයේ ඉලෙක්ට්‍රොනික බඩු මාලිගාවය. රූපවාහිනිය සාමාන්‍ය මිනිසුන්ගේ විසිත්ත කාමරය සඳහා පැමිණි මේ කාලයේ, එය මිලදී ගැනීම සඳහා සලාකා එක වටේ කිලෝමීටර දෙක තුනක පෝලිම් තිබුණේය. ඉලෙක්ට්‍රොනික් අත්ඔරලෝසු ආදිය ඒ කාලයේ ‘මාර බඩු’ විය. උදයට වෙලාව තබා, අමතරව ඔරලෝසුවේ පැත්තේ ඇති බෝලය කරකවා, වයින් තැබිය යුතු ඔරලෝසු තිබුණ කාලයේ, අවුරුද්දක් දෙකක් නිකම්ම වෙලාව යන ඔරලෝසුවක් ගැනීමට හැමෝම කැමැත්තෝය. බඩුවද ලාභ හෙයින් සහ දවස ගානේ වෙලාව තැබීම සහ වයින් කිරීම වැනි සෙල්ලම් නැති හෙයින් මේ මොඩලය අතේ බැඳගෙන යෑමට කවුරුත් ප්‍රිය කළහ.
එවැනි සියලු ගැජමැටික් සලාකා එකේ තිබුණි. පුරහල ප්‍රදේශයට පැමිණි සියලු දෙනා දන්නා තැන හෙයින්, ඒ අසල බස් නැවතුම්පොළ හඳුන්වන ලද්දේ ‘සලාකා’ ලෙසය. උදෑසන හතර පහේ සිට රෑ දෙගොඩහරි ජාමය තෙක් නොනවත්වා බස් දුවන යුනියන් පෙදෙසේ, හැමවිටම ඇසුණු හඬක් වූයේ ‘සලාකා බහිනවා… සලාකා බහිනවා’ යන්නය. ඔහොම කලක් ගතව, සලාකා ව්‍යාපාරයද බැස ගියේය.
දිනක්, සලාකා හිමිකරුගෙන් අයෙක් ඇසුවේ, තිබ්බ හැටියට ඔහොම වුණේ කොහොමදැයි කියාය. “කොන්දොස්තරලා එකතු වෙලා අපේ ව්‍යාපාරය විනාශ කළා…” උදේ ඉඳන් රෑ වෙනකන් සලාකා බහිනවා යැයි කීමේ ප්‍රතිඵලයක් ලෙස සිය ව්‍යාපාරය බැස ගියා යන්න ඔහුගේ නිරුක්තිය විය.
බුන්නත් ව්‍යාපාරයත් සමඟ කවුරුත් බිස්නස් කරන්න එන්නේ නැත. මිනිස්සු එතැනට එන්නේ, ඉතුරු බඩු ටික වෙන්දේසිය දැමූ පසු, ලාභයට ගන්නය. බංකොලොත් ලේබලය සහිත රටක් කියන්නේ එහෙම එකකි. මේ ආණ්ඩුව භාර ගත්තේ එවැනි ව්‍යාපාරයකි. එහෙම රටක් කරගෙන යෑම සඳහා ණය දෙන්නේ මූල්‍ය අරමුදල පමණය. එතැන් සිට වැඩේ යා යුතුය. බදු ආදිය වෙනදාට පැනවූයේ, රටේ ජනතාවගේ පැත්තෙන් හිතා වුවද මූල්‍ය අරමුදල ‘සීන් එකට’ ආ විට ඒවා බැරිය. බදු පැනවීම, සහනාධාර ලබා දීම ආදිය සඳහා මූල්‍ය අරමුදල අපට ගයිඩ් ලයින්ස් දෙන්නේ ය. ඒවා ඉටුකර වාරිකයෙන් වාරිකයට, ප්‍රගතිය සමාලෝචනය වන්නේ ය. ඊළඟ කොටහ ලැබෙනුයේ, එසේ ලබා ගත් ප්‍රගතිය අනුවය.
පෙරේදා අවසන් වූයේ ‘කරපුදේ ගැන’ සමාලෝචනයකි. ඊළඟ අදියර වන්නේ කෙසේ ද යන්න ගැනද එහිදී සාකච්ඡා ඇති විය. එහෙම මිසක මූල්‍ය අරමුදලෙන් ආ පිරිස ශ්‍රී ලංකාවේ එකවුන්ට් එකට සල්ලි නොදා ‘වැඩේ බෑ’ කියා ගියේ නැත. මූල්‍ය අරමුදල පැත්තෙන් සිදු කරන සමාලෝචනයේ දී ‘‘ශ්‍රී ලාංකික අප සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත, අසීරු වුවද බෙහෙවින් අවැසි වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇත’’ ආදී ලෙස සුබවාදී කතා ඉතිරෙන්නට කියා තිබුණි. එහෙම තිබියදී විපක්ෂයේ කටවල් සහ ඒවාට කත් අදින මාධ්‍ය, වෙබ් අඩවි ආදිය වැඩේ ‘අල’ බවට ප්‍රචාර පටන් ගත්හ.
මූල්‍ය අරමුදල පමණක් පිළිසරණය කර ගන්නා, බංකොලොත් තත්ත්වය ගැන අප සතුටු නැත.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වනාහි අපේ කැමැත්තේ, අවුන්සයක් හෝ නොමැති දෙයක් විය හැකිය. ලබා දුන් දායාදය එය නම් මේ ආණ්ඩුවට කළ හැක්කේ ‘අද එතැන් සිට’ යැයි කතාව
කරගෙන යෑමය. එතැනදී මේ වාරිකය අහිමි වෙනවා කියන්නේ, පාරේ සිට ආණ්ඩු කිරීමට බලාපොරොත්තු වෙන සෙට් එකට ඉල්ලමකි.
සමහර ඉල්ලීම් කොතෙක් කට්ට කෑවද දිනා ගැනීම පහසු නැත. අදවන් පොහෝ දිනක භික්ෂුණී ශාසනය පිහිටුවන්නේ ද එලෙසය. පා ගෙවී, තුවාල වී, ලේ මතුව ආ කළ ද උත්සාහය අත් නොහැර, ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුහු පා, පිණිපා කර මහණ දම් ඉල්ලා සිටියෝ ය. තෙවරක් ප්‍රතික්ෂේප කළේ නමුදු තථාගතහු අවසන් අනුමැතිය දක්වා වදාළහ. ඒ මොහොත අප ආදර්ශයට ගත යුත්තේ ය. එළඹ ඇත්තේ, උත්සාහවන්තයාගේ හෝරාවය. කසළින්, සැරවෙන් යැපෙන සත්ත්ව කොට්ඨාසය නිකැලැල් යමක් වේ ද එයට ගරහන්නේ ය. කුණු වීම ආහාරය වන්නා එසේ ය. එවැනි ප්‍රාර්ථනා රාශියකින් කියවුණේ ‘අයිඑම්එෆ් සල්ලි නොලැබීයන්’ කියා ය.
එහෙම කිය කියා යන්නේ, මේ දවස් ටිකේ හෝ අවුලක් ඇති කර ‘මල් පැණියෙන් නා ගන්නටය’. සලාකා බහිනවා කියා ව්‍යාපාරය බංකොලොත් වුණා සේ, දිගින් දිගටම මේ ජාතියේ ‘අවුල් කතා’ පතුරුවා හරින කල්හි, නිකම්ම සමාජය සලිත වන්නේ ය. ඒ වැඩේට ඉඩ දිය නොහැක්කේ, මේ අපේ රට නිසා ය.