කඨින පින්කම යනු මහ බලවත් පින්කමකි. ඇත්තෙන්ම එය බෙෘද්ධයන්ට ඇති ඉහළම පින්කමයි. කෙළින්ම විනය කර්මයක් හා සම්බන්ධ වන පින්කම් මාලාවක් වන්නේත් කඨිනයයි. කඨින පින්කමේ ආනිසංස ද අතිශයින්ම ප්‍රබල වේ. කඨින පින්කමේ වටිනාකම දැන ගන්නට ධර්ම ඤාණය ද තරමක් හෝ තිබිය යුතුය. මෙම ලිපියෙන් මහනීය වූ කඨින පින්කම සම්බන්ධ කරුණු පැහැදිලි කරනු ලැබේ.
ගිහි පැවිදි දෙපාර්ශ්වයම එකට එකතු වී කරන කඨින මහා පින්කම ගැන ත්‍රිපිටකයේ දී එකම තැනකින් කරුණු සියල්ලම ගැනීමට නොහැකිය. එයට අදාළ විනය කර්මය ගැන විනය පොත්වලින් ද, ආනිසංස ගැන ඒ ඒ රහතන් වහන්සේලා සහ රහත් තෙරණින් වහන්සේලාගේ කඨින පින්කම් වගේම කඨින පින්කම් සමඟ කර ගත හැකි වෙනත් පින්කම් ගැන සඳහන් වන ථේර, ථේරී ගාථා සහ අපදානයන්ගෙන් ද, කර්මය සහ බෝධිපාක්ෂික ධර්මා දී කුසල් ගැන අභිධර්ම පොත් පත්වලින් ද, දැන ගැනීමට සිදු වේ.
කඨින පින්කමේ බලවත් කම තේරුම් ගන්නට නම්, අදාළ ධර්ම විනය කොට්ඨාස දැන ගෙන තිබිය යුතු නිසා, ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අදාළ කටයුතු පහත ආකාරයට පෙළගස්වනු ලැබේ.
අට මහා කුසල්
බුද්ධ ශාසනයේ උසස්ම ආනිසංස ගෙන දෙන මහ කුසල් අටක් ගැන සඳහන් වේ. එය තිබෙන්නේ පුරාණ ආචාර්යවරයන් වහන්සේ නමක් විසින් ත්‍රිපිටකය ඇසුරින් සකස් කර ඇති කඨින විනිශ්චය නම් ග්‍රන්ථයේයි. ථේර ගාථා, ථේරි ගාථා, අපදාන, ජාතක කථා, සූත්‍ර දේශනා ආදියේ රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ වර්තමාන මේ ත්‍රිහේතුක හේතු සම්පත් උපද වූ අතීත බලසම්පන්න කුසල චේතනා ඇති කළ විශේෂ කාය, වාග්, මනෝ කර්මයන් ගැන සඳහන්ව තිබේ. බොහෝ කලක් ත්‍රිහේතුක බලසම්පන්න කුසල් සිත් උපදවන එම පින්කම් අට, මහා කුසල් ලෙස හඳුන්වනු ලැබේ. එය මහා කුසල් සිත් අට නොවේ. මහා කුසල් සිත් අටේ ඤාණසම්පයුත්ත කුසල් සිත් සතරින් කර ගන්නා ප්‍රධාන සුවිශේෂී පින්කම් අටක් වේ. කඨින විනිශ්චයේ සඳහන් වන එම පින්කම් අට වන්නේ :-
“කඨිනට්ඨ පරික්ඛාරං – වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස – පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා – අට්ඨ පුඤ්ඤාති චුච්චරේ.” (කඨින විනිශ්චය)
ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිළි කැසිකිළි සෑදීම යන පූජාවන්ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාවයි. දුක්ඛ සත්‍ය වන පඤ්චුපාදානස්ඛන්ධය ගැන දන්නා අයට මෙම කුසල්වල වටිනාකම අමුතුවෙන් කිව යුතු නොවේ.
කඨින පූජා මහා පින්කම
බුදු පසේ බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වන ගමනේදී පාරමී ධර්ම සම්පූර්ණ කළ සේක. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා, සිවුපිළිසිඹියාපත්, ෂඩහිඤ්ඤා, ත්‍රිවිධ්‍යා, සුක්කවිපස්සක රහතන් වහන්සේලා, අනාගාමී, සකෘදාගාමී, සෝවාන් ආදී සතරමඟ සතර ඵලයන්ට පත් වීමට ඒ ඒ තරමට හේතු සම්පත් උපදවන පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතු ය. සියලුම පාරමිතා ධර්ම සම්පූර්ණ වන ආකාරයේ පින්කමක් වන්නේ කඨින පූජා මහා පින්කමයි.
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සහ බුද්ධ ශ්‍රාවක ආර්යයන් වහන්සේලා ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා දිගු කාලීන සාංසාරික හේතු සම්පත් උපදවන පූර්වභාග ප්‍රතිපදා සමයක් තිබේ. ඒවා ජාතක කථා, බුද්ධ වංශය, චරියාපිටකය, ථේර ථේරී අපදාන, ථේර ථේරී ගාථා සහ සූත්‍ර පිටකයේ ඒ ඒ උතුමන් වහන්සේලාගේ අතීත ජීවිත කථා සහ එම භවවල කර ගත් අනාගතයේ දී විපාක ලබා ගත් කාය වාග් මනෝ කර්මයන් ගැන තොරතුරු කියවා දැන ගත හැකිය. අවශ්‍ය නම් කඨින මහා පින්කම් මාලාවට ඉහත මහ රහතන් වහන්සේලාගේ සියලුම ආකාරයේ අතීත පින්කම් එකතු කර ගත හැකිය. ඒවායින් ශක්තිමත් වන විට කඨිනය වඩාත් ශක්තිමත් කුසලයක් වේ.
පළමුවෙන්ම කඨින පින්කමට අදාළව කාරණා දෙකක් තිබේ.
• භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය.
• ගිහි පින්වතුනගේ කාර්යභාරය
ගිහි පින්වතුන් විසින් වස් වසන්නට ආරාධනා කළත්, නොකළත් භික්ෂූන් වහන්සේ වස් විසිය යුතුය. පෙර වස් විසීම්, පසු වස් විසීම් යන දෙකෙන් ඇසළ පොහෝ දින පෝය කොට අවපෑලවිය දිනයේ පෙර වස් එළඹිය යුතුය. එසේ පෙර වස් විසූ ස්වාමින් වහන්සේලා වැඩ වසන තැන්වල කඨින චීවර පූජාවන් පැවැත්විය හැකිය. පසු වස් සමාදන් වන්නේ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනදීය.
භික්ෂූන් වහන්සේ නමකට වහලක් දොරක් ඇති සෙනසුනක් කරවා දෙන දායකයෙකු නැති නම් උපකාරකයන් සොයාගෙන හෝ තමන් විසින් සෙනසුනක් සාදා ගෙන හෝ වස් විසිය යුතුය. වස් විසීම නොකළහොත් “න භික්ඛවෙ! වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” දුකුලා ඇවතක් වේ. ඉන් පසුව වප් පුර පසළොස්වක පොහෝ දින දී, පෙර වස් විසූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් පවාරණය කළ යුතුය. කොසොල් රජතුමාගේ සොහොයුරන් වූ ‘භද්දවග්ගිය’ තෙරුන් වහන්සේලා තිස් නමට, වූ කරදරය දුටු, මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට තරමක පහසුවක් ඇති කර දෙනු වස් ‘අනුජානාමි භික්ඛවෙ! වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’ යි භික්ෂූන් වහන්සේට පඤ්චානිසංසයක් ලැබෙන්නා වූ ‘කඨිනාස්තරණ විනය කර්මය’අනුදැන වදාළ සේක.
ඒ අනුව ගිහි පැවිදි ඕනෑම සැදැහැති කෙනෙකුට කඨිනත්ථාරයට නියමිත කාලය තුළදී “ඉමං චීවරං (දුස්සං) සංඝස්ස දේම” ලෙස තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ කඨින දුස්සයක් හෝ සඟ සතු කොට පූජා කළ හැකිය. ඉන් පසුව මහා සංඝරත්නය සීමාවට රැස් වී, කඨිනාස්තරණ විනය කර්මය කිරීම සඳහා, එය දීමට සුදුසු භික්ෂුවක් තෝරා, නියමිත කර්මවාක්‍යය කියා, කඨින වස්ත්‍රය ඒ භික්ෂුවට ප්‍රදානය කළ යුතුය. ඉන්පසු එම භික්ෂුව එය කපා මසා පඬු පොවා අධිෂ්ඨානයට සුදුසු ලෙස පිළියෙල කළ කඨින චීවරයක් නම්, වස් වැසූ සීමාව තුළ හිඳ, එහි කප් බින්දු තබා, එය අතට ගෙන, තමාගේ පරණ සිවුර (තනිපට, දෙපට, අඳන යන සිවුරු තුනෙන් ගැළපෙන එක) පච්චුද්ධරණය කර අලුත් සිවුර අධිෂ්ඨාන කළ යුතුය. ඉන් පසුව එම චීවරය අතට ගෙන, “ඉමාය සඞ්ඝාටියා (උත්තරාසඞ්ඝෙන, අන්තරවාසකෙන) කඨිනං අත්ථරාමි” ලෙස කඨිනාස්තරණ විනය කර්මය කළ යුතුය. එය කිරීමත් සමඟම ඒ භික්ෂූන් වහන්සේට බුද්ධාඥාව ලෙස අනාමන්තචාරාදි පඤ්චානිසංසය ලැබේ. ඉන් පසුව ඒ භික්ෂුව විසින් කඨිනාස්තරණ කර්මය අනුමෝදන් කර විය යුතු ය.
ඉන් පසුව ඒ භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා ඇඳිලි බැඳ, සඞ්ඝයාහට කඨිනත්ථාරය අනුමෝදන් වන්න යැයි කිව යුතුය. එවිට අනෙක් භික්ෂූන් වහන්සේලාද, සිවුරු ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන කඨිනත්ථාරය අනුමෝදන් විය යුතුය. ඉන් පසු අනුමෝදන් වූ භික්ෂූන්ට ද පඤ්චානිසංසය හිමි වේ. ලැබුණ කඨින වස්ත්‍රය වැඩ නිම නොකළ වස්ත්‍රයක් නම් “සේදීමය, නූල්ගසා කඩ වෙන් කිරීමය, කැපීමය, බොරුනූල් දැමීම ආදියෙන් කඩ එකතු කිරීමය, මැසීමය, පඬු පෙවීමය, කප් බින්දු තැබීමය යන පූර්වකෘත්‍ය සත එදිනම කොට නිමවා, එදිනම කඨිනත්ථාරය කළ යුතුය. මේ කඨිනය සම්බන්ධ භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය කෙටියෙනි. වැදගත්ම කාර්යභාරය තිබෙන්නේ භික්ෂූන් වහන්සේටය.
ගිහි පින්වතුන්ගේ කාර්යභාරය
සසරින් එතෙර වීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙළෙසුන් නැසීම පිණිස, ගිහි පින්වතුන් විසින් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් විය හැකි බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර ගත යුතු ය. බුද්ධ කාරක ධර්ම වන්නේ දස පාරමිතා ධර්මයි. නුවණැති ගිහි පැවිදි ඇත්තෝ පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කර ගත යුතුය. පූර්වයෝගය, පූර්ව සමථ විදර්ශනාව, පූර්ව යෝගාවචර බව, පූර්වභාග මාර්ගය, පූර්ව වාසනාව, පූර්ව හේතු සම්පත් ආදිය ඇති අයෙක් විය යුතුය.
මේවා සම්පූර්ණ කර ගැනීමට ඔවුනට ලැබෙන භාග්‍යවන්තම කාලයක් වන්නේ, සංඝරත්නය අතර මඟ ඵල ලාභීන් වැඩි වශයෙන්ම පහළ වන්නාවූ වස්සාන සාර මාසය යි.
නානාප්‍රකාර මට්ටමේ නුවණ ඇති අය එම කාල සීමාවේ දී ඤාණ සම්පයුත්ත මහා කුසල් සිත් අටෙන් කර ගත හැකි සෑම ආකාරයේ කුසලයක්ම කර ගැනීමට කටයුතු කිරීමේ වරදක් නැත. (වනරෝප සූත්‍රයේ සඳහන් පින්කම් ආදී ඕනෑම කායික, මානසික, වාචසික කුසල ක්‍රියාවක් කර ගත හැකි ය.) එයට හේතුව යම් දවසක රහතන් වහන්සේ නමක් හෝ රහත් තෙරණින් වහන්සේ නමක්ව අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා තෙක්ම නාමරූප ධර්මයෝ හට ගන්නේ කර්මා දී හේතුප්‍රත්‍යන්ගෙන් නිසාය.
සෝවාන් වූවත් එම උතුමන්ගේ ද ඒක බීජී, කෝලංකෝල, සත්තක්ඛත්තු පරම වන තෙක්ම නාමරූපයන් හට ගන්නේ කර්මාදී හේතූන්ගෙනි. අනුපාදිසේස පරිනිර්වාණය දක්වාම නාමරූපයෝ හට ගන්නේ කර්මා දී හේතූන්ගෙන් පමණි. එම නිසා නුවණැත්තෝ පින්කම් නම් කර ගත යුතුමය. පවුකම් අත් හැරිය යුතුම වන අතර, කිසි ලෙසකින් පින්කම් අත් නොහැරිය යුතුමය.
තමන් පූජා කරන චීවරය හෝ දුස්සය සහ එයට සමගාමී සියලූම පින්කම් තීරණය කරන්නේ කඨිනය කරන පින්වතුන් විසිනි. (පැවිදි අයට ද කඨින පින්කම් කර ගත හැකි ය.)
අකුසල් හෙවත් පාප ගති නසන කුසල් කුසල් සිත් අටක් තිබේ. මේ කුසල් සිත් අටෙන් සිදු කෙරෙන්නේ යහපත් දේවල්ම වේ. කඨින පින්කමට සමගාමීව තුන් මසක් පුරාවට කර ගන්නා සියලූම පින්කම් සහ කඨින මාසයේදී කර ගන්නා පින්කම්වලටද සසර වසනා තෙක් කල් ඒ ඒ කර්ම සිතේ හැටියට විපාක ලැබේ. මේ ජිවිතයේ ඉදිරි කාලයට සහ සසර වසනා තාක් කල් විපාක ලැබේ.
කඨින පින්කමක් කළ හැකි අය
ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට කඨින පින්කමක් කර ගත හැකිය. නමුත්, වස් වසන ස්ථානයේ ස්වාමින් වහන්සේලාට එම ස්ථානයට ලැබෙන කඨින සිවුර අහසින් වැටෙන්නාක් මෙන් තිබිය යුතුය. ගිහි පින්වතුනට තවත් කෙනෙකුගේ මෙහෙය වීමක් නොමැතිව ශ්‍රද්ධාව ආදී බෝධිපාක්ෂික ධර්ම බලවත් වීම නිසාම තිහේතුක ඤාණ සම්පයුත්තවම කර ගත හැකි පින්කමක්ම විය යුතුය. නොදන්නා කරුණු සංඝරත්නයෙන් අසා දැන ගත යුතුය. කඨින පින්කමකදී සංඝරත්නයට වස් වසන්නට ආරාධනා කර මහා පවාරණයෙන් පසුව තමන් ළඟ තිබූ රෙදිවලින් හෝ කාගෙන් හරි ලැබුණ පරිත්‍යාගයකින් හෝ එකතු වී හෝ කෙසේ හෝ ධාර්මිකව ලැබුණ කඨින චීවරයක් හෝ දුස්සයක් සංඝයාට පූජා කර කඨිනත්ථාරක විනය කර්මයෙන් පසුව ගිහි පැවිදි දෙපක්ෂයටම කඨිනානිසංස ලබා ගත හැකිය. එයට සමගාමීව එම පින්වන්ත කුසල් වර්ධනය වන කාල සීමාවේ කර ගන්නා අවශේෂ පින්කම්වලට වෙන වෙනම ආනිසංස ලැබේ. කඨින පින්කමක් කර ගැනීම අතිශයින්ම දුප්පත් අයෙකුට වුවත් කිසිදු වියදමක් නොකර ද කර ගත හැකිය.
මෙම සාර මාසය තුළ මාර්ග සිත්වල යෙදෙන බෝධිපාක්ෂික ධර්ම තිස් හතම වැඩෙන පින්කම් කර ගත යුතුය. පාරමිතාදී බුද්ධ කාරක ධර්ම සම්පාදනය කර ගත යුතුය. ඕනෑම කුසලයකින් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තම තමන්ගේ සන්තානවල උපදවා ගෙන වර්ධනය කරගත හැකි නම්, එය මොන තරම් උපකාරක ධර්මයක්ද? මේ භයානක සසරින් එගොඩව ඉක්මනටම කුමන ප්‍රතිපදාවකින් හෝ නිවන් දැකිය යුතුමය. කඨින පින්කම බලවත්ම පින්කම වන්නේ එය සිදු කර ගන්නට මාස සතරක් තිස්සේ ඇති කර ගන්නා විවිධාකාර ත්‍රිහේතුක කාය, වාක්, මනෝ කර්මයන්ගේ ප්‍රමාණය අති විශාල වන නිසාය.
ඡායාරූප – ධර්මප්‍රිය ලියනආරච්චි
රත්නපුර, පැල්වාඩිය, මිණිපුර අමාශාන්ති තපෝවනයේ, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත. විහාරාධිපති, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ