Saturday, May 10, 2025
Home » කඳුළක කතාවක් ගයන මදුෂානිකා

කඳුළක කතාවක් ගයන මදුෂානිකා

by sachintha
September 29, 2023 1:00 am 0 comment

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගෙ නම මදුෂානිකා හෙට්ටිආරච්චි. මම සංවර්ධන නිලධාරිනියක් විදියට පාසලකට අනුයුක්තව සේවය කරනවා. දැනට පදිංචිය දංකොටුවෙ. මට අවුරුදු දෙකයි මාස හතරක පුංචි පුතෙක් ඉන්නවා. මගෙ දෙමාපියන් එක්ක තමයි දැනට මම ජීවත් වෙන්නෙ.

ඔබගේ “කඳුළක කතාවක්” කියන ගීතය නිර්මාණය වුණේ කොහොම ද? ප්‍රස්තුතය වුණේ කුමන කාරණාවක්ද?

මගෙ මහත්තයා තමයි සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරමින් හිටියෙ. නම චලන පියුමන්ත. ගිය අවුරුද්දෙ ඇහැළියගොඩ තිබුණ අවුරා ලංකා සංගීතය අතරතුර ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා (දෙසැම්බර් 28) මගෙ මහත්තයා නැති වෙනවා.

එයා ජීවතුන් අතර ඉන්නකොටත් මට එයා වෙනුවෙන් සින්දුවක් කරන්න වුවමනාව තිබුණා. එයා ඉන්න කාලෙත් මම ඒ සින්දුවෙ භාගයක් ලියලා තිබුනෙ. නමුත් මට ඒක සම්පූර්ණ කර ගන්න බැරි වුනා. මහත්තයා නැති වුණාට පස්සෙ මම ඒ දේවල් වලින් ඈත් වෙලා හිටියා. නමුත් මාස ගානකට පස්සෙ මට හිතුනා ඒක සම්පූර්ණ කරන්න ඕනෙ කියලා. මොකද එයා කවදාවත් කැමති වුණේ නෑ මං සංගීත වැඩ කටයුතු නතර කරනවට.

ගීතයේ තනුව නිර්මාණය වුණේ කොහොම ද?

මම ගොඩාක් ආස කරන හින්දි සින්දුවක් තිබුණා. ඒකෙ අනුවාදනයක තමයි මම මේක කළේ. ස්ටූඩියෝ කේ එකේ ඩිලාන් ප්‍රියංකර අයියා තමයි මට සංගීතය නැවත සකස් කරලා දුන්නෙ. වීඩියෝ එක හදලා දුන්නෙ නිසල් ගමගේ, සංජීව විජේසිරි, මංජුල තෙන්නකෝන් කියන අයියලා තුන් දෙනා. මේකට සම්බන්ධ වුණ සියලු දෙනාට ස්තුති කරන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.

ඔබ මීට පෙරත් ගායනා කළ ගීත තිබෙනවා ද?

මගෙම කියලා මීට පෙර ගායනා කරපු ගීත හතරක් තියනවා. පස් වැනි සින්දුවේ වීඩියෝ එක හදා ගෙන යනකොට තමයි මගෙ මහත්තයා නැති වුණේ. ඉදිරියට ඒකත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියටත් සංගීත කටයුතුවල නියැළීමට බලාපොරොත්තුවක් තිබෙනවා ද?

අනිවාර්යයෙන්ම ඔව්. මොකද මම මගෙ මහත්තයා වෙනුවෙන් සහ මගෙ පුංචි පුතා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT