අප රට පෙරහර සම්ප්‍රදායේ මුදුන්මල්කඩ වන්නේ කන්ද උඩරට සෙංකඩගල අසිරිමත් සිරි දළදා පෙරහරයි. එහි ආභාසය ඇතිව රටේ විවිධ ප්‍රදේශවල පෙරහර ක්‍රමිකව සකස්ව ව්‍යාප්ත වූ බව පෙනී යයි. මෙවන් පෙරහර මංගල්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී මහරගම ශ්‍රී විපශ්‍යාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහරගම මහ පෙරහරද විශේෂයෙන් ස්ථානයක් ලබයි.
මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි අනුනාහිමියෝ මහරගම ඇසළ මහ පෙරහර මල් පෙරහරක් වශයෙන් 1977දී මුලින්ම ආරම්භ කරලූහ. මේ වන විට එය රාජ්‍ය අනුග්‍රහය ලබන දිවයිනේ අග්‍රගණ්‍ය පෙරහර මංගල්‍යයක් ලෙස පරිණාමිතව ඇත. රතනසිරි අනුනාහිමි 2014දී අපවත් වූ අතර, උන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහකුඹුක්වැව චන්දානන්ද හිමිගේ අවවාද අනුශාසනා මත විහාරස්ථ දායක සභාව, පෙරහර කමිටුව, විශාඛා කුලඟන හා සිරිමංගල දහම් පාසල මූලික කොට ගෙන මෙවරද 47 වැනි වරටත් පෙරහර මංගල්‍යය හෙට (30) අත්‍යලංකාර අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
විහාරස්ථානය අසබඩට පැමිණ ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ සිට නෙත් හෙළන කවරකුට වුවද, එක්වරම දර්ශනය වන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට අනුරූපව නිමවන ලද ඉපැරණි වාහල්කඩ සහිත දාගැබ් වහන්සේ හා ඒ වටා ඇති සාංචි ප්‍රාකාර අනුරූ බැම්මයි. ඉපැරණි බුදුගෙය හා දේවාල මන්දිරද මෙහි පවත්නා පෞරාණිකත්වය හා පූජනීයත්වය විදහා දක්වයි. වසර 200කට වඩා පැරණි විහාරස්ථානයෙහි පැරණි ධර්මශාලාව, පැරණි බුදුගෙය හා බිතුසිතුවම් යනාදිය මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කිරීමටද පියවර ගෙන ඇත. වත්මන් විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානයේ සියලු ගොඩනැඟිලි පිළිසකර කරවා, යටිතල පහසුකම් වැඩිදියුණු කොට, කෙටි කාලයක් ඇතුළත සංවර්ධන කටයුතු රැසක් සම්පූර්ණ කිරීමටත් ගරාවැටීමට ආසන්නව පැවති පැරණි ධර්මශාලා ගොඩනැඟිල්ල පෞරාණිකත්වයට හානි නොවන පරිදි අලුත්වැඩියා කිරීමටත් කටයුතු යොදා ඇත. සුවිශේෂ අනුහස් ඇති පෞරාණික බෝධීන් වහන්සේ වටා දර්ශනීය අන්දමින් බෝධිඝරයක්, අටවිසි බුද්ධ මන්දිර හා වෙනත් අගනා ඉදිකිරීම් රැසක් නිමවා ඇති අතර, විහාරස්ථ දහම් පාසලේ සිසුන්ගේත් සිල් සමාදන් වන සැදැහැවතුන්ගේත් පහසුව පිණිස අංගසම්පූර්ණ ධර්මශාලාවක් හා බෞද්ධ පුස්තකාලයක් පිහිටුවීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
මෙවර පෙරහර පුණ්‍යෝත්සවය ආරම්භ කරන ලද්දේ ඉකුත් 9 දින කප් සිටුවීමෙනි. ඉක්බිති දිනපතා අටවිසි බෝධිපූජා, ධර්මදේශනා, දෛනික බෝධිපූජා, දේවපූජා, සාංඝික දාන, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා, පහන්පූජා ආදිය අඛණ්ඩවම පවත්වා ගෙන ඒමට කටයුතු යෙදිණි. එහි කූටප්‍රාප්තිය ලෙස හෙට (30) පස්වරු 9.04ට විහාරස්ථානයෙන් සුබ මොහොතින් ඇරඹෙන පෙරහර දෙහිවල පාර, විද්‍යාකර මාවත, ඇල්හේන පාර, හයිලෙවල් පාර ඔස්සේ ගමන් කර, ඔරලෝසු කණුව අසලින් යළිත් දෙහිවල පාරට සම්ප්‍රාප්තව විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය. ඔක්තෝබර් 1 ඉරුදින පෙරවරු 9.00ට ගරා යක් ශාන්තිකර්මය හා දේවදානයෙන් පසු මෙවර මහරගම පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.
ආචාර්ය ලීලාරත්න
කංකානම්ගේ