කැනඩාවේ සික් ජාතික බෙදුම්වාදි නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා සාක්ෂි කවරේදැයි හෙළි කරන ලෙස ඉන්දියාවේ විදේශ ඇමැති එස්. ජයිශංකර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සික් ජාතිකයාගේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැති බව අවධාරණය කරමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ ඝාතනය සම්බන්ධව සිදු කෙරෙන ඕනෑම විමර්ශනයකට ඉන්දියාව සහාය පළ කරන බව කැනේඩියානු රජයට දැනුම් දී ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල දේශනයට පෙර අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
සික් ජාතික බෙදුම්වාදි නායකයාගේ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට තොරතුරු දන්නේ නම් ඒවා ඉන්දියාව සමඟ බෙදා ගත යුතු බවත් ඔහු අවධාරණය කර ඇතැයි වාර්තා වේ. 2020දී ත්‍රස්තවාදියකු ලෙස ඉන්දියාව විසින් නම් කරනු ලැබූ හර්දිප් සිං නිජ්ජාර් පසුගිය ජූනි මාසයේ සික් දේවස්ථානයක් ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.