Home » රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම-ඵලදායි සේවාවක් සලසාගත හැකියි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම-ඵලදායි සේවාවක් සලසාගත හැකියි

-ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

by sachintha
September 29, 2023 1:00 am 0 comment

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම’ මැයෙන් මුදල් අමාත්‍යාංශයේ පසුගියදා (26) පැවති විද්වත් සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම වෙනුවෙන් 2010 – 2020 දස අවුරුදු කාලයේ රුපියල් බිලියන 333ක් තරම් වූ අති විශාල මහජන මුදලක් වැය කර තිබෙනවා. එමෙන්ම මහජන බදු මුදල් මේ තරම් ප්‍රමාණයක් වැය කරමින් පවත්වාගෙන ආ මේ රාජ්‍ය ව්‍යවසාය යම් ලාභදායි ව්‍යාපාරයක් ලෙස ගොඩනඟා ගත්තේ නම් එමඟින් වසරකට රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ඉතිරි කර ගන්නට හැකියාව තිබූණා.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට රජයේ කිසිදු අදහසක් නෑ. මේ වසරට අදාළ අය – වැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට වෙන් කළ මුදලටත් වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස තවත් සියයට එකක් වැඩිපුර ලබන වසරට දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.”

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා

“ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලයට වඩා සේවක පුරප්පාඩු 4000කට ආසන්න ප්‍රමාණයක් දැනට පවතිනවා. මෙවැනි පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතියත් ආයතන පවත්වාගෙන යෑමට සහ අවශ්‍ය සේවා කටයුතු සඳහා වත්මන් සේවක සංඛ්‍යාව ප්‍රමාණවත්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය 3292ක්. දැනට සේවය කරන පිරිස 2100ක්. ඒ අනුව සේවකයන් 1192ක පුරප්පාඩු පවතිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලය 24,000ක්. එයින් දැනට සේවය කරන්නේ 21,000ක පිරිසක් පමණයි. තවත් 3000ක පිරිසක් අවශේෂ සේවා කටයුතු සඳහා පිටතින් යොදවා ගෙන තිබෙනවා. අනුමත කාර්ය මණ්ඩලය සම්පූර්ණ කිරීමට 3000ක පිරිසක් අවශ්‍යයි. ඒත් මෙවැනි පුරප්පාඩු සම්පූර්ණයෙන් පුරවා දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකරන වත්මන් රජය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් රටේ තිරසර ආර්ථික සංවර්ධනයකට අභියෝගාත්මක අසීරු තීන්දු තීරණ ගනිමින් කටයුතු කරනවා. දේශපාලන වාසි ගැනීමට මාතර දිස්ත්‍රික්කයෙන් තවත් දහසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා දීමට මට පුළුවන්. ඒත් එවැනි සේවක පිරවීම් සිදු කොට එම ආයතන බිඳ වැට්ටවීම රජයේ ප්‍රතිපත්තිය නොවේ.”

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානි, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා

“ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ආර්ථික දියුණුවක් ළඟා කර ගැනීමට මුල පිරීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම යහපාලනය, නීතිය හා සාමය සහ ජනතාවගේ ආකල්පවල ධනාත්මක වෙනසක් සිදු කළ යුතුයි. රාජ්‍ය ව්‍යවසායන්වල අයිතිකරුවෙක් නෑ. එමෙන්ම ඒවායේ මූල්‍ය විනය, විනිවිද භාවය, කාර්යක්ෂමතාව, නාස්තිය සහ දූෂණය වැනි දුර්වලතා පවතිනවා. ලෝකයේ සෑම රටකම ව්‍යවසායන්ගේ ස්වභාවය එලෙසයි. එවැනි තත්ත්වයක් තුළ අප රටේ ද රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ආර්ථික අර්බුදය ජය ගැනීමට උත්තේජකයක් සපයා ගත හැකියි. එයින් ඔබ්බට ගොස් රට නඟාසිටුවීමට වැඩ කරන ජනතාව පෙළ ගැසීමේ අවශ්‍යතාව වර්තමානයේ දැඩිව තිබෙනවා.”

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT