Friday, May 9, 2025
Home » උ/පෙළ විභාගය කල් දැම්මොත් අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක්

උ/පෙළ විභාගය කල් දැම්මොත් අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක්

-අධ්‍යාපන විශේෂඥයෝ ජනාධිපතිට දන්වති

by sachintha
September 29, 2023 12:55 am 0 comment

අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමුවහොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

විභාග කල් දැමීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතය වී ඇත.

පසුගිය වසරවල කොරෝනා වසංගතය, ආර්ථික අර්බුද ආදිය නිසා ද විභාග කල් යෑම මෙන්ම පාසල් අධ්‍යාපනයේ ඇනහිටීම් සිදු වූ බව අධ්‍යාපන විශේෂඥයන් සිහිපත් කර තිබේ.

2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල් දැමුවහොත් එම වසරේ මාර්තු, අප්‍රේල්වල පැවැත්වීමට සැලසුම් කර තිබෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල් තැබීමට සිදුවනු ඇතැයි ද 2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජුලි මාසය තෙක් පමා වන අතර එවිට 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට ද මෙවර මෙන්ම අමතර කාලයක් ලබා දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නැවත 2024 දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල් යනු ඇතැයි ද මේ වන විටත් ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ඇති වී තිබෙන පසුබෑම නිවැරදි කර ගැනීම තව දුරටත් පමා වනු ඇතැයි ද ඔවුන්ගේ මතය වී තිබේ.

විභාග කල් දැමීමෙන් පාසල් වාර සටහන් ප්‍රමාද වීම, පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වීම, 11 සහ 12 ශ්‍රේණිවල දරුවන්ට යම් වැඩිපුර කාලයක් රැඳී සිටීමට සිදු වීමෙන් පන්ති කාමරවල ඉඩකඩ ප්‍රශ්නයක් ද ඇති වීම,

උසස් පෙළ ප්‍රවේශය ප්‍රමාද වීම, විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමේ කාලය ප්‍රමාද වීම, විදේශ විශ්වවිද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව අහිමි වීම, රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් ප්‍රමාද වීම වැනි දිගුකාලීන ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

දරුවන් උසස් පෙළ විභාගය සඳහා අවුරුදු 18 වන විට පෙනී සිටිය යුතු වුවද විභාග කල් යෑම නිසා එම වයස ඉක්මවා ගොස් තිබෙන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT