Saturday, May 10, 2025
Home » ඇමැති බන්දුලට අපහාස කළැයි නීතිඥ මණ්ඩලය කරුණු දක්වයි

ඇමැති බන්දුලට අපහාස කළැයි නීතිඥ මණ්ඩලය කරුණු දක්වයි

-දුම්රිය රියැදුරු ඉන්දිකට එරෙහි වාරණ නියෝගයක්

by sachintha
September 29, 2023 1:00 am 0 comment

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදි කිරීම් කොන්ත්‍රාත් පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීම හේතුවෙන් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥයන් විසින් කොළඹ අංක 01 දිස්ත්‍රික් අධිකරණයට සිදු කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ අධිකරණය, දුම්රිය රියැදුරකු වන ඉන්දික දොඩන්ගොඩ නමැත්තාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ ඉන්දීය සමාගමෙන් අල්ලස් ලබාගෙන ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම සේවාදායක අමාත්‍යවරයා වෙනුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ, ධම්මිකා චිමිනිගේ මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා, ඩී.එස්. රත්නායක මහත්මිය සහ මිනෝලි ඇලෙක්සැන්ඩර් මෙණෙවිය යන නීතිඥ මණ්ඩලය විසිනි.

ඒ අනුව කිසිදු ආකාරයෙන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ සිදු කිරීම, තමන් විසින් හෝ වෙනත් අයකු හරහා ඍජුව හෝ වක්‍රව අපහාස සිදු වන ආකාරයෙන් කටයුතු කිරීම හෝ දිගින් දිගටම අපකීර්තියට පත් කිරීම, කවර ආකාරයේ හෝ මුද්‍රිත, වාචික, සමාජ මාධ්‍ය, තමන්ගේ හෝ අන් අයකුගේ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ඍජුව හෝ වක්‍රව විත්තිකරු විසින් හෝ අන් අයකු මාර්ගයෙන් පැමිණිලිකරුට අපහාස කිරීමට විත්තිකරුට අයිතියක් නැති බව කොළඹ අංක 01 දිස්ත්‍රික් අධිකරණය නිකුත් කරන ලද වාරණ නියෝගයේ සඳහන් වේ.

ඔක්තෝබර් 11 වැනි දින මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ගැනීමට නියමිතය.

ඉන්දික දොඩන්ගොඩ විසින් ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වෙන වෙනම පැමිණිලි මීට පෙර ඉදිරිපත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT