Home » කසිප්පු මුදලාලිගේ සාදයට ගිය උමන්දාවේ සැරයන් ගුටිකා රෝහලේ වැඩත් තහනම්

කසිප්පු මුදලාලිගේ සාදයට ගිය උමන්දාවේ සැරයන් ගුටිකා රෝහලේ වැඩත් තහනම්

by sachintha
September 29, 2023 12:55 am 0 comment

කසිප්පු ජාවාරම්කරුවකුගේ නිවෙසක පැවති සාදයකට සහභාගි වී නිවෙසට යමින් සිටි උමන්දාව පොලිස් මුරපොළේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු ගමේ තරුණයන් පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන පහරකෑමට ලක්ව රෝහල්ගතව ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 23 වැනිදා රාත්‍රී 9.00ට පමණ බවත් ඒ වන විට පොලිස් නිලධාරියා සිට ඇත්තේ රාජකාරියෙන් බැහැර බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

කුරුණෑගල මදුරාගොඩ ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කරුවකුගේ නිවෙසේ පැවති සාදයකට මෙම සැරයන්වරයා ගොස් නැවත නිවෙසට යමින් සිටියදී ඇතිකරගත් මෙම ගැටුම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම සැරයන්වරයා උමන්දාව පොලිස් මුරපොළේ සේවයට යොදවා තිබී ඇත්තේ පන්සියගම පොලිස් ස්ථානය මඟිනි. ඔහු කසිප්පු ජාවාරම්කරුගේ නිවෙසේ පැවති සාදයට ගොස් ඇත්තේ දිවා රාජකාරියට ද සහභාගි වීමෙන් අනතුරුව බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ප්‍රදේශයේ තරුණයන්ගෙන් පහරකෑ මෙම නිලධාරියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුට බරපතළ තත්ත්වයේ තුවාල කිසිවක් නැති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

මෙම නිලධාරියාට පහරදීම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වෙන බවත් ඔහුගේ වැඩ තහනම් කරනු ලැබුවේ ඔහු කසිප්පු ජාවාරම්කරුවකුගේ නිවෙසේ පැවති සාදයකට සහභාගිවෙමින් කළ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් බවත් පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT