Sunday, May 11, 2025
Home » ලෝක ළමා දිනය දා ළමයින්ට සත්ත්වෝද්‍යාන නැරඹීම නොමිලේ

ලෝක ළමා දිනය දා ළමයින්ට සත්ත්වෝද්‍යාන නැරඹීම නොමිලේ

-පින්නවල අධ්‍යාපන ප්‍රදර්ශනය අද ඇරඹේ

by sachintha
September 29, 2023 12:55 am 0 comment

ලෝක ළමා දිනයදා (ඔක්තෝබර් 01) දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය ඇතුළු සියලු සත්ත්වෝද්‍යාන නැරඹීම සඳහා අවුරුදු 12ට අඩු ළමයින්ට නොමිලේ අවස්ථාව හිමිවන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය අද (29) සිට ඔක්තෝබර් මස 01දා දක්වා පින්නවල එළිමහන් සත්ත්වෝද්‍යාන සහ අලි අනාථාගාර භූමියේදී පැවැත්වීමට ද එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

‘සියල්ලටම වඩා දරුවන් වටී’ තේමාව පෙරදැරි කරගෙන මෙම තෙදින පුරා පෙරවරු 8.30 – පස්වරු 6.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට පැමිණෙන දූ දරුවන්ට සහ වැඩිහිටියන්ට දැනුම බෙදා දීම සඳහා රාජ්‍ය ආයතන 20ක් සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් රැසක් එක්වන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීය. සත්ත්ව සුබසාධනයට සහ සතුන් සංරක්ෂණයට දරුවන් උනන්දු කිරීම, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම මෙම තෙදින තුළ සිදු කෙරෙන අතර, සතුන් වර්ග දැකබලා ගැනීම, හඳුනා ගැනීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැදෑරීමට ද අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔක්තෝබර් 01 දින (ලෝක ළමා දිනයදා) දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී ළමයින් වෙනුවෙන් විශේෂාංග රැසක් ක්‍රියාත්මක කරන අතර, චිත්‍ර තරග, තරුණ සත්ත්වවේදීන් විසින් දරුවන් වෙනුවෙන් කරන දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඒ අතර වෙයි. දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට පැමිණෙන දරුවන්ගේ මිතුරා වූ ‘සිම්බා’ නම් සිංහ පැටවාගේ සුරතල් බැලීමට මහජනතාවට අවස්ථාව උදාවන අවසන් දිනය වන්නේ ද ඔක්තෝබර් 01 වැනිදායි.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT