කොටි සාමාජිකයන් විසින් වළලන ලද අවි ආයුධ තොගයක් හා රත්රන් තොගයක් සෙවීමේ අරමුණින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදු කළ කැණීම් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පෙරේදා (27) නවතා දමා තිබේ.
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු විසින් දෙන ලද තොරතුරකට අනුව මුලතිව් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව එම ස්ථානයේ මීටර් 4යි දශම 7ක් ගැඹුරට හා මීටර් 17ක් පළලට වළක් හාරන ලද නමුත් ඉන් කිසිවක් හමු නොවීය. මේ අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් ටී. ප්‍රදීපන් මහතා කැණීම් නවතන ලෙස නියෝග කළත් කොටි සාමාජිකයා පොලිසිය හරහා එම ස්ථානයේ තවත් පැයක කාලයක් කැණීම් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ එම ස්ථානයේ අවි ආයුධ හා රත්රන් ඇති බව තරයේ ප්‍රකාශ කරමිනි. අමතර පැයක කාලයක් කැණීම් සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලැබුණු අතර එම පැය අවසානයේ ද කිසිවක් හමු නොවීම නිසා එම වළ වසා දමා කැණීම් කටයුතු නවතා දමන ලෙසට දෙවන වරට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු මේ වන විට අවසන් කොට තිබේ. මුලතිව් පොලිසිය ප්‍රකාශ කළේ මීට පෙර දකුණේ සිට පැමිණි හා මෙම ප්‍රදේශවල පිරිස් අවස්ථා හයකම මේ ස්ථානයේ වළවල් හාරා කොටි සාමාජිකයන් විසින් වළ දැමුවේ යැයි කියන රත්රන් ගොඩ ගැනීමට ගොස් එම කණ්ඩායම් හයම පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
381
කලින් පුවත