නඩු භාණ්ඩයක් ලෙස නිකවැරටිය පොලිස් ස්ථානයේ තිබුණු යතුරුපැදියක් සොරාගෙන යමින් සිටි විශ්‍රාමික නාවික හමුදා සෙබළකුව පෙරේදා (27) අලුයම් කාලයේදී නිකවැරටිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී පසුගිය 26 වැනිදා රාත්‍රී කාලයේදී බීමත්ව රිය පැදවීම හේතුවෙන් NW BED 1818 දරන යතුරුපැදිය පදවාගෙන යමින් සිටි රියැදුරුව නීතියේ රැහැනට හසුකරගෙන ඇත. එම යතුරුපැදිය නඩු භාණ්ඩයක් ලෙස පොලිස් භාරයේ තබාගෙන රියැදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.
බීමතින් රිය පදවා හසුවූ පුද්ගලයා පදවා ඇත්තේ විශ්‍රාමික නාවික හමුදා සෙබළාගේ යතුරුපැදිය බව පොලිසිය කියයි. පෙරේදා (27) අලුයම එම නාවික හමුදා සෙබළා නිකවැරටිය පොලිස් ස්ථානයට පැමිණ පොලිස් ස්ථානයේ නතර කර තිබුණු යතුරුපැදිය හොර රහසේ තල්ලු කරගෙන පොලිස් භූමියේ සිට රැගෙන ගොස් තිබේ.
මේ බව පොලිස් නිලධාරින් දැක ඇත්තේ මීටර් 50ක් පමණ දුරකට යතුරුපැදිය තල්ලු කරගෙන ගිය පසුවය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විශ්‍රාමික නාවික හමුදා සෙබළා පසුපස පන්නා ගොස් යතුරුපැදිය සිය භාරයට ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නාවික හමුදා සෙබළා නිකවැරටිය බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගයාන් කුමාර වීරසිංහ
286
කලින් පුවත