Friday, May 9, 2025
Home » අම්බලන්තොට ප්‍රා/ලේ කාර්යාලයේ සේප්පුව කැඩුවේ වටපිටාව හොඳින් දන්නා අයෙක්
යතුරු 2ක දෙදෙනකු අත තිබියදී

අම්බලන්තොට ප්‍රා/ලේ කාර්යාලයේ සේප්පුව කැඩුවේ වටපිටාව හොඳින් දන්නා අයෙක්

-පොලිස් විමර්ශන හෙළි කරයි

by sachintha
September 29, 2023 12:46 am 0 comment

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොර රහසේ ඇතුළු වී එහි සේප්පුව විවෘත කර රුපියල් 19 ලක්ෂයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇත්තේ එදින සේප්පුවේ එතරම් මුදලක් ඇති බව මෙන්ම සේප්පුව විවෘත කිරීමට යතුරු දෙකක් අවශ්‍ය බව සහ එම යතුරු ඇති ස්ථාන ගැන හොඳින්ම දන්නා අයකු බව යැයි මූලික පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 26 වැනිදා සවස 4.30ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දැමීමෙන් පසු නැවත 27 වැනිදා විවෘත කළ උදෑසන 8.00ත් අතර කාලය තුළදී බව පොලිසිය කියයි.

සොරකම සිදුව ඇති නිශ්චිත කාලයක් අනාවරණය නොවූවත් සොරා ඇතුළු වී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොරක වීදුරුවක් බිඳ ඒ තුළින් බව පොලිසිය කියයි.

සේප්පුව තිබී ඇත්තේ ගිණුම් අංශයේය. එය විවෘත කිරීමට අවශ්‍ය යතුරු දෙක තිබී ඇත්තේ නිලධාරීන් දෙදෙනකු සතුවය. යතුරු දෙකම නැතිව සේප්පුව විවෘත කළ නොහැකිය. සේප්පුවේ යතුරු දෙක අදාළ නිලධාරීන් දෙදෙනා සිය නි‍වෙසට රැගෙන නොයන බවත් කාර්යාලය තුළම ආරක්ෂිත ස්ථානවල තබා යන බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම සොරකම සිදු කළ පුද්ගලයා විසින් එම යතුරු සඟවා තිබුණු ස්ථානවලින් රැගෙන සේප්පුව විවෘත කර ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ. යතුරු ඇති ස්ථාන සොරා හරියටම දැන සිටීමත් යතුරු දෙකක් මෙහි ඇති බව සොරා දැන සිටීමත් සේප්පුවේ මෙතරම් මුදලක් ඇති බව සොරා දැන සිටීමත් ආදි කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ඒ හැම දෙයක් ගැනම දන්නා අයකු විසින් මෙම සොරකම කර ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සේප්පුව විවෘත කර රැගෙන ගොස් ඇති මුදල රුපියල් 1,912,148.50ක් බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පොලිසියට දැනුම් දී තිබේ. මෙම සොරකම ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ ද එහි කාර්යාල සේවකයෙකි.

මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාගෙන් ද පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. සේප්පුව භාර නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙවැනි මුදලක් කිසිසේත් කාර්යාලීය සේප්පුවේ තබා ගැනීමට නොහැකි බවයි. දිනපතා මුදල් බැංකුගත කිරීම සිදු කළ යුතු හෙයින් අසීමිත මුදලක් මෙලෙස කාර්යාලයීය සේප්පුවේ තබා ගැනීම සම්බන්ධයෙන් හා සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

ගයාන් කුමාර වීරසිංහ / ලුණම සමූහ – සනත් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT