ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රවල නවීකරණය මෙන්ම නව තාක්ෂණය උපයෝගි කරගනිමින් ඩිජිටල්කරණය කිරීමේදී මුහුණ පෑමට සිදු වන සුවිශේෂ අභියෝග වන දත්තවල ආරක්ෂිතභාවය රැකගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට සැපයීමට අමෙරිකාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චං මහත්මිය පැවසුවාය.
තානාපතිවරිය මේ කරුණු අවධාරණය කළේ පෙරේදා (27) පස්වරුවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය කාර්යාලයේදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ තානාපතිවරිය, ඒ සඳහා අමෙරිකානු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට සැපයීමට කටයුතු කරන බවද පැවසීය.
මෙහිදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රය අනාගතයට සරිලන අයුරින් සංවර්ධනය කිරීමට අවශ්‍ය නව ප්‍රතිපත්ති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත සිදු කර ඇති බවත්, ඒ මඟින් මේ ක්ෂේත්‍රය රජයට බරක් නොවී පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා රාශියක් ඇති බව පැවසූ ඇමැතිවරයා ඒ සඳහා අමෙරිකානු ආයෝජකයන්ට ආරාධනා කරන බවද ප්‍රකාශ කළේය.
මේ සාකච්ඡාවට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් වන ඩස්ටින් ආර්. බිකෙල්, ඩැනියෙල් මූන්, තිලෝමා අබේනායක, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නයනා සෝමරත්න සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්. විතානගේ, අධ්‍යක්ෂ ජනරාල් ජයකාන්ත, ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති (විශ්‍රාමික මේජර් ජෙනරාල්) ජී.ඒ. චන්ද්‍රසිරි, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහත්ම මහත්මීහුද සහභාගි වූහ.