Sunday, May 11, 2025
Home » ධනුෂ්ක නිදොස් වීම ගැන සතුටුයි යළි ක්‍රීඩා කරන්න දෙන්නත් බලනවා -ඇමැති රොෂාන් රණසිංහ

ධනුෂ්ක නිදොස් වීම ගැන සතුටුයි යළි ක්‍රීඩා කරන්න දෙන්නත් බලනවා -ඇමැති රොෂාන් රණසිංහ

by sachintha
September 29, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳ තමා සතුටු වන බවත්, ශ්‍රී ලංකාවේ ‍ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුට අවස්ථාව දීම පිළිබඳ ජාතික ක්‍රීඩා සභාව සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මහවැලි සංස්කෘතික ශාලාවේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ (28) සවස මාධ්‍යවේදීන් විසින් ධනුෂ්ක ගුණතිලක මහතා නිදහස් කිරීම පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය:

“ධනුෂ්ක ගුණතිලක මහතා නිදොස් වීමත් සමඟ අපි විසින් ක්‍රීඩා කිරීමට පනවා තිබූ තහනම සම්බන්ධයෙන් සලකා බලනවා. ඔහුට පනවා තිබෙන කොන්දේසි මොනවද කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම ජාතික ක්‍රීඩා සභාව සමග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ‍ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව දීම පිළිබඳ සලකා බැලීමකුත් සිදු කරන්න අපේක්ෂා කරනවා. ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක් වගේම ජාතික ක්‍රීඩකයෙක්.”

ක්‍රීඩා අමාත්‍යාංශය තමන්ගෙන් ඉවත් කිරීම පිළිබඳව පැතිර යන කතා පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට රොෂාන් රණසිංහ මහතා මෙලෙස පිළිතුරු දුන්නේය:

“දේශපාලනඥයාගේ වගකීම තමයි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම. පරිපාලන කටයුතු තිබෙන්නේ රාජ්‍ය සේවකයා අතේ. පරිපාලනයේ ගොඩක් අඩුපාඩු කියනවා, දැන් ගොඩක් අය ඉහළ උපදෙස් පතනවා. වගකීමක් නෑ. මේ යන්ත්‍රණයේ ප්‍රශ්න තියෙනවා. මම අමාත්‍යංශ පහක වැඩ කරලා තියෙනවා. ඒ පහෙන් දුර්වලම තැන මෙතන. ඒ නිසා මේ මෙතන වෙනස් වෙන්නම ඕනෑ, අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීම තමයි අමාත්‍යංශය ශක්තිමත් කරලා විධිමත් කිරීම. දැන් වෙලා තියෙන්නෙ පරිපාලන කටයුතු කරන්න වෙලා තියෙන්නෙත් මගේ කාර්යාලයට. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඉංග්‍රීසියෙන් ලියුමක් ගහගන්න බැරි තත්ත්වයකුත් වෙලා තියෙනවා. ඒ ටික ගහන්නෙත් මගේ කාර්යාලයේ. මම මේක එළියෙ කිව්වේ නෑ, නමුත් කෝපා එකේදී කරුණු මතු වුණා, ඉතින් කෝපා එකේ කීව දේ ඇතුළේ හදාගන්න තමයි බැලුවේ. ඒත් ඒ දේ වුණේ නෑ. ක්‍රීඩාව කියන්නේ ජවයක් ඇතිව කරන්න ඕනෑ එකන්නේ. ක්‍රීඩාව ඔහේ ඇද යන්නත් බෑ. මේක ජවසම්පන්නව වෙන්න ඕන කාරණයක්. ඒ සඳහා අවශ්‍ය පියවරක් ගන්න ලේකම්වරයා දැනුවත් කරලා තියෙනවා, හොඳ අතිරේක ලේකම්වරු පිරිසක් අමාත්‍යාංශයට ගේන්න කියලා. ඒ වගේම දක්ෂයන් හොයන්න කියලත් මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ කම්මැළි පිරිසකුත් ඉන්නවා, ඒ අය ගැන පියවරක් ගන්න කියලත්, අලුත් පිරිසකුත් දාගෙන වැඩකරන් යන්න කියලත් මම උපදෙස් දී තිබෙනවා.”

 

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT