පොදු ප්‍රවාහනයට යොදාගැනෙණ බස් රථ හා ලොරි රථ සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගියදා ලිහිල් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය යළි ඉදිරි දින කිහිපය තුළදී සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දෙහිඕවිට ප්‍රදේශයේදී ඊයේ (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.
තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද සඳහන් කෙළේය.
පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදාගැනෙන බස් රථ හා ට්‍රක් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය මඟින් වසර 10ක් පමණ පැරණි වාහන ගෙන්වීමට අවසර හිමිවිය.
එහෙත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව අවුරුදු 10ක් පැරණි වාහන ගෙන්වීමේදී ඒවායේ මිල ගණන් අඩු වුවත්, නඩත්තු වියදම, අමතර කොටස් සඳහා යන මිල ගණන් මෙන්ම ඉන්ධනවලට යන වියදම ආදිය සාපේක්ෂව වැඩි වීම නිසා ඒ පිළිබඳ නැවත සලකා බැලීමක් කිරීමට සිදු වුණා.
කෙසේ වෙතත් පෙර නිකුත් කළ චක්‍රලේඛය පසුගිය 14 වැනිදා දක්වා වලංගුව පැවැති බැවින් එම කාලය තුළ ණයවර ලිපි නිකුත් කළ අය වේ නම්, පැවැති චක්‍රලේඛය අනුව වාහන ගෙන්වීමට අවසර හිමිවෙනවා.