Saturday, May 10, 2025
Home » නිල්වලාවෙත් ජල මට්ටම ඉහළට කඳු හා ගස් කඩා වැටී ගමනාගමනයට බාධා

නිල්වලාවෙත් ජල මට්ටම ඉහළට කඳු හා ගස් කඩා වැටී ගමනාගමනයට බාධා

by sachintha
September 29, 2023 1:00 am 0 comment

මාතර දිස්ත්‍රික්කයට ඇදහැළෙන අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළයාමත් හේතුවෙන් ඒ ආශ්‍රිත අතු ගංඟා පිටාර ගැනීම නිසා මෙන්ම කඳු හා ගස් කඩාවැටීම් හේතුවෙන් මාර්ග කීපයක ගමනාගමනයට බාධා සිදුවූ බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද හන්දියට ආසන්න ප්‍රදේශයේදී ගස් සමඟ පස් කන්දක් කඩාවැටීම නිසා එළියකන්ද මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා සිදුව තිබුණි.

ඊයේ (28) දහවල් වන විට ඇතිව තිබූ ගංවතුර තත්ත්වය මත අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය, අකුරැස්ස කඹුරුපිටිය මිර්ගය, කඹුරුපිටිය විටියල හරහා මාතර මාර්ගය, කඹුරුපිටිය අතුරලිය හරහා අකුරැස්ස මාර්ගය, කඹුරුපිටිය කදුදූව හරහා මාතර මාර්ගය, කඹුරුපිටිය මුලටියන මාර්ගය, අකුරැස්ස, අතුරලිය, කද්දූව, මාලිම්බඩ හරහා මාතර මාර්ගයන්හි ගමනාගමනයට බාධා පැමිණ තිබුණි.

අකුරැස්ස-දෙනියාය මාර්ගයේ කොස්නිල්ගොඩ මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර උරුමුත්ත ඔය පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය ජලයෙන් යටව පැවතියේය. එමෙන්ම කඹුරුපිටිය ලේනබටුව වැව වාන්දැමීම හේතුවෙන් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයයට ජලය එක්රැස්වවෙමින් පැවතියේය. මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණායාතනය විසින් මුලටියන, අතුරලිය, කොටපොල හා පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තබූණි.

මෙයට අමතරව වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත කළ නිවේදනයක සඳහන් වූයේ තවදුරටත් වර්ෂාව පැවතිහහොත් නිල්වලා ගං ද්‍රෝනියේ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාරතැන්නට අයත් ප්‍රදේශවල පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT