Home » කිලිනොච්චියේ සුද්දකුගේ නි‍ෙවසකට බෝම්බ ගහලා ප්‍රහාරයට 20ක් ඇවිත්

කිලිනොච්චියේ සුද්දකුගේ නි‍ෙවසකට බෝම්බ ගහලා ප්‍රහාරයට 20ක් ඇවිත්

by sachintha
September 29, 2023 1:00 am 0 comment

කිළිනොච්චිය තිරුවයිආරු ප්‍රදේශයේ විදේශිකයකුට අයත් නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට නිවසේ සිටි පිරිස සියුම් ආයුධවලින් කපා දැමීම නිසා පස් දෙනෙකු තුවාල ලබා 27 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලන්ඩනයේ පදිංචිව සිටින දෙමළ ජාතිකයෙකුගේ නිවසකට වන අතර මීට දින කීපයකට ඉහතදී එම නිවසට ලන්ඩනයේ විදේශිකයන් කීප දෙනෙකු ද පැමිණ සිට තිබේ.

ඔවුන් මේ වන විට කිළිනොච්චියෙන් පිටව ගොස් ඇතත් ප්‍රහාරය එල්ල කළ පිරිස ඒ බව නොදැන ප්‍රහාරය එල්ල කළ බවට සැකයක් පවතී.

විදේශිකයෙකුද මෙම ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති අතර ඔහු බෙල්ජියමේ සිට නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ලන්ඩනයේ පිරිස සමග ඇති වූ හිතවත්කම් මත කිළිනොච්චියට පැමිණි අයෙකි.

මෙම ප්‍රහාරය එල්ල වීම සඳහා ප්‍රධාන හේතු තුනක් ඇති බව පැවසූ කිළිනොච්චිය පොලීසියේ නිලධාරීන් ඉන් එකක් වන්නේ කිළිනොච්චියේ ජනතාව විදේශවලට යවන බව කියා විශාල මුදල් වංචාවක් මෙම නිවසේ සිටි පිරිසක් විසින් සිදු කොට ඇති අතර ඊට උරණ වූ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි යන්න පළමු කාරණයයි.

දෙවනි කාරණය වන්නේ ඉතා විශාල මුදලක් මෙම නිවසේ සිටි පිරිස අතර ගැවසෙන බවට ලැබී ඇති ආරංචිය මත එම මුදල් කොල්ල කෑමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව දෙවන විශ්වාසයයි.

මහා පරිමාණයෙන් කිළිනොච්චියේ සිදු වන වැලි ජාවාරමක් මත ඇති වූ ප්‍රශ්නයක් මෙම ප්‍රහාරයට හේතුව විය හැකි බවට තුන් වන මතයක් ද පවතී.
මෙම ප්‍රහාරය සඳහා විසි දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණි බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලීසිය ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්ෂා කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට කිළිනොච්චියේ ආරක්ෂක අංශ වලට නොහැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT