Home » ගිං ගඟ පහළ නිම්නයේ වගා බිම් රැසක් යට වෙයි

ගිං ගඟ පහළ නිම්නයේ වගා බිම් රැසක් යට වෙයි

-අස්වනු නෙළා ගත නොහැකිව ගොවීහූ අසරණයි

by sachintha
September 29, 2023 1:02 am 0 comment

ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ගිං ගඟ පහළ නිම්නයට අයත් ඕපාත, හෝළුවාගොඩ, මීපාවල, පැණිදෙණිය, බාස්වත්ත, කුරුන්ද ආදි ගම්මාන රැසක වී වගාබිම් හා කොරටු වගාවන් ජලයෙන් යට වීම නිසා එම ප්‍රදේශවල ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. ඕපාත ප්‍රදේශයේ අස්වැන්න නෙළීමට ආසන්නව පැවති වී වගාබිම් අක්කර 50කට අධික ප්‍රමාණයක් දැනට මාසයක පමණ කාලයක සිට ජලයෙන් යට වී ඇති බව ගොවිහු පවසති. අස්වැන්න නෙළීමට නොහැකි වීම නිසා ඇතැම් වී වගාබිම් විනාශ වී ඇති බව ද ගොවිහු පෙන්වා දෙති. ඕපාත ප්‍රදේශයේ ඇතැම් ගොවීන් ජලයේ කරවටක් බැස ඔරුවලින් ගොස් වී අස්වැන්න නෙළා ගන්නා අයුරු දැකගත හැකි විය. ජලය බැසයාම සඳහා ක්‍රමවත් වාරිමාර්ග පද්ධතියක් නොමැතිවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව ද ගොවිහු පවසති. පොම්පාගාරයක් ඉදිකර දෙන ලෙස ගිං ගග පහළ නිම්නයේ ගොවින් වසර ගණනාවක සිට වාරිමාර්ග බලධාරින්ගෙන් ඉල්ලිම් කළ ද එය බිරී අලින්ට විනා වැයිමක් බදු කටයුත්තක් බවට පත්ව ඇති බවද ගොවීහූ පවසති.

ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරිම සඳහා හෝළුවාගොඩ ව්‍යාපාරයේ පෙර කන්න රැස්වීම ඉකුත් 26 වන දින බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති අතර ගොවීන්ගේ විරෝධතාව නිසා එදින දින වකවානු තීන්දු කර ගැනීමට නොහැකිවී ඇත. වී අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව වගාබිම් ජලයෙන් යට වි තිබිය දී ඉදිරි මහ කන්නය සඳහා දින වකවානු තීන්දු කිරීම පිළිබඳ ගොවීන් මෙහිදි සිය විරෝධය පළ කරනු ලැබීය. ජලයෙන් යටවි ඇති වී වගාබිම් සඳහා වී වපුරනු ලැබු දින වකවානු පිළිබඳ නොසලකා වන්දි ලබාදෙන ලෙස ගොවිහු කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ. හානියට පත් වී වගාබිම් සඳහා අවශ්‍ය වන්දි ලබා දීමට කටයුතු කරන ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය. ඉදිරි මහ කන්නයේ දී හෝළුවාගොඩ ව්‍යාපාරයට අයත් ගොවින් වී වගා කිරිමෙන් වැළකී සිටින බව ද ගොවීහු සඳහන් කළහ.

ගාල්ල උතුර සමුහ දික්වැල්ලේ තිලකරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT