‘ලංකාවට ගිහින් ආපහු ක්‍රිකට් ගහනකල් මට ඉවසිල්ලක් නෑ’
අධිකරණ භූමියේදී ධනුෂ්ක මාධ්‍යවේදීන්ට කියයි
නඩු ගාස්තු ඉල්ලා ඔක්තෝබර් 4 යළි උසාවි යයි
කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට චෝදනා එල්ල වී වසරකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ කොටු වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවට නිවැරැදිකරු බවට සිඩ්නි නුවර ඩවුනින් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරිය සාරා හගේට් ඊයේ (28) තීන්දු කළාය.
විනිසුරුවරිය සිය තීන්දුව කියවද්දී ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු මුළු නඩු විභාගය පුරාම තමා සමඟ සිටි තරුණිය සිප වැලඳ ගත් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. දින හතරක් පුරා පසුගිය සතියේ එක දිගට පැවැති නඩු විභාගයේ තීන්දුව ඊයේ ලබා දීමෙන් පසු අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන් ඇමතූ ධනුෂ්ක ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය.
ඔහු කියා සිටියේ සත්‍යය කුමක්දැයි විනිසුරුවරියගේ තීන්දුවෙන් ඔප්පු වූ බවය. දුෂ්කර කාලයේදී තමා සමඟ සිටි සිය පවුලේ සාමාජිකයන්ට සහ නීතිඥවරුන්ට හා කළමනාකරුට ස්තූතිය පුද කිරීමටත් ඔහු එය අවස්ථාවක් කර ගත්තේය.
‘පසුගිය මාස 11ක කාලය මට දුෂ්කර කාලයක් වුණා. දැන් මගේ ජීවිතය ආපහු සාමාන්‍ය අතට පත්වීම ගැන සතුටු වෙනවා. ලංකාවට ගිහින් ආපහු ක්‍රිකට් පටන් ගන්නකල් මට ඉවසිල්ලක් නෑ’ ධනුෂ්ක මාධ්‍යවේදීන්ට එසේ කීවේය.
ඔස්ට්‍රේලියානු නීතියට අනුව කාන්තා දූෂණයක් ලෙස සැලකෙන ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේ අනුදැනුමකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීම ධනුෂ්කට එල්ල වූ චෝදනාව වූ අතර, වැරැදිකරු වූයේ නම් ලැබෙන අවම දඬුවම වසර 10ක සිර දඬුවමක් බවත් උපරිමය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවත් වාර්තා විය. එබැවින් ධනුෂ්කගේ නඩු විභාගයට සහ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ සිදුවීමට ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානයක් යොමු වී තිබිණි. ධනුෂ්ක ඊයේ සුපුරුදු පරිදි එරට සුදු ජාතික කාන්තාව සමඟ අධිකරණයට පැමිණ සිටියේය.
සිය නිවෙසේදී ධනුෂ්ක බලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවට සහ ඔහු ප්‍රචණ්ඩ වූ බවට පැමිණිලිකාරිනිය අධිකරණයේදී ප්‍රකාශ කළද විනිසුරුවරිය ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ලිංගික එක්වීමකදී උපත් පාලන කොපුව ඉවත් කිරීමට කිසිදු ඉඩක් නැති බවය. පැමිණිලිකාරිනිය ඉතා බුද්ධිමත් සහ සන්සුන් ලෙස ප්‍රතිචාර දක්වන සාක්ෂිකාරිනියක බව ප්‍රකාශ කළ විනිසුරුවරිය ඇය හිතාමතා බොරු සාක්ෂි දෙන ආකාරයේ කාන්තාවක ලෙස නොදකින බව අවධාරණය කළාය. එහෙත් ඇගේ ඇතැම් සාක්ෂි විත්තිකරුට අවාසිසහගත ලෙස හැඩ ගැස්වීමේ බලවත් ආශාවකින් ඇය පසු වූ බව තමාට පැහැදිලි වූයේ යැයිද විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
උපත් පාලන කොපුව ඇඳ අසල වැටී තිබෙනු තමා දුටු බව පැමිණිලිකාරිනිය ප්‍රකාශ කළ ද ඔහු සිය ලිංගික හැසිරීම නතර කිරීමක් හෝ උපත් පාලන කොපුව බිමට වීසි කිරීමක් හෝ දුටු බවට කිසිදු සාක්ෂියක් ලබා නොදුන් බවත් විනිසුරුවරිය සාරා හගේට් ප්‍රකාශ කළාය. පොලිසිය විසින් කාන්තාවගේ පැමිණිල්ල සම්බන්ධව ක්‍රියා කළ ආකාරය විනිසුරුවරියගේ දැඩි අවධානයට යොමු වී තිබූ අතර, ඇගේ පැමිණිල්ල සම්බන්ධව පොලිසියේ ක්‍රියාකලාපය ගැන තමා සෑහීමකට පත් නොවන බවත් කියා සිටියාය. චෝදනාවෙන් නිදහස් වීමෙන් පසු සිය නඩු ගාස්තු ඉල්ලා ධනුෂ්ක ගුණතිලක අධිකරණයට අයැදුම්පතක් යොමු කිරීමට නියමිත බවත් සිය නීතිඥවරුන්ගේ ගාස්තු ඉල්ලා ඔක්තෝබර් මස 4 වැනිදා ඔහු නැවත අධිකරණයට පැමිණීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්