Home » මත වර වරනිඳුන්ට – මන බැඳි සකිසඳුන්ට

මත වර වරනිඳුන්ට – මන බැඳි සකිසඳුන්ට

by gayan
September 30, 2023 1:00 am 0 comment

Fifty Years of Ceylon හෙවත් ලංකාවේ පනස් වසරක් නම් පොත ලියූ, මේජර් තෝමස් ස්කිනර් කියන්නේ ‘දරුණු අලි වෙඩිල්ලකි’. වයස අවුරුදු පහළොවේදී ඔහු මුල්ම අලියාට වෙඩි තබන්නේ අඹේපුස්සේදීය. “1827- 29 කාලසීමාවේදී කොළඹින් සැතපුම් 30 – 40 ඈතින් අලියකු ගැවසෙන ඕනෑම අවස්ථාවක දී ගම්පති විසින් මට ඒ බව දැන්වූ විට, උන්ට වෙඩි තැබීම සඳහා මම මගේ නිලධාරීන් ද කැටුව එහි ගියෙමි.” යැයි මේ ‘අලි මරුවා’ වාග් ප්‍රලාපයක් ද දොඩවන්නේය. ලක්දිව ගත කළ කාලය තුළ ස්කිනර්කාරයා, අලි හත්සියයකට පමණ ‘වැඩේ දී’ තිබේ.

කන්දට යෑමට කරත්ත පාරවල් සහ මඳක් විශාල වූ අඩි පාරවල් තිබූ රටේ, වතු ආර්ථිකය ඇතිවෙන විට, උඩහට යෑම සඳහා සුද්දා පාර කැපුවේය. තවත් පැත්තකින් රේල් පාර ද ඉදි කළහ. කැලෑ ටික එළිපෙහෙළි කර කෝපි මුලින් ද ඊළඟට තේ ද වගා කළහ. මේ වැඩේට බාධාවක් වූයේ අලියාගෙන් බැවින්, අලියෙකු මරා වලිගය ගෙනැවිත් දිසාපතිට භාරදුන් කල්හි, එකකට සිලිං දහයක් ගෙවීමට ආණ්ඩුව නියම කර තිබුණි.

අලියාට වෙඩි තබනවා කියන්නේ සොච්චම් වැඩකි. තාප්පයක් මත බෝතලයක් තබා වෙඩි තැබූ විට, වැඩි ඉඩ ඇත්තේ තාප්පයට වැදීමට මිස බෝතලය බිඳී යන පරිදි උණ්ඩය එල්ලවීමට නොවේ. සතා ලොකු හෙයින් අහක බලාගෙන වෙඩි තැබුවද ‘බඩු වැඩය’. මේ නිසා අලි මැරීම නම් සෙවල සෙල්ලම, වික්‍රමාන්විත කිරීම සඳහා ඌගේ කුම්භස්තලයට වෙඩි තබා එකෙනෙහි ‘තොලොංචි කර දැමීමේ’ රටාවක් දඩයම්කරුවන් හඳුනා ගත්තේය.

තෝමස්‌ ස්‌කිනර්, අලින් හත්සියයක්‌ මරා, පවුම් 350ක්‌ උපයා ගත්තේය. තෝමස්‌ විලියම් රොජර්ස්‌, අලින් 1400ක්‌ මරා පවුම් 700ක්‌ හම්බු කළේය. රොජර්ස් කියන්නේ ලංකාවේ වැඩියෙන්ම අලින්ව මැරූ එකාය. මේ ඝාතන ශාපය වැදී, හපුතලේ තානායමේ සිටින විටකදී, ඒකා මලේ හෙණයක් පහත් වීමෙනි. මිනිය භූමදානය කරන ලද්දේ, නුවරඑළියේ වර්තමාන ගොල්ෆ් ක්‍රීඩා සමාජ කාර්යාලය අසල තැනකය. මේ සොහොනට අවස්ථා ගණනකදී හෙණ ගෙඩි පාත්ව එහි සිටුවා ඇති ඵලකයද දෙබෑවී ගියේය.

කතරගම බුත්තල පාරේ ගල්ගේ නම් ප්‍රදේශයක් තිබේ. ඉංග්‍රීසි සමයේ මේ පළාත පාලනය කර ඇත්තේ ජේ.පී. ඉරේෂන් නම් සුද්දාය. ඔහු ද ‘අලි වෙඩිල්ලකි’. අලියෙකු පහරදී එලොව ගිය ඉරේෂන්ගේ සොහොන ඇත්තේ, යාල කැලයේ ගල් තලාවකය. කාලයෙන් කාලයට මේ සොහොනටද හෙණ වදින්නේය.

අලියා කියන්නේ අපේ සංස්කෘතික සතාය. සතෙක් දෙයාකාරයකට සංස්කෘතික වන්නේය. කෘෂි කර්මාන්තය ආදී මානව ජීවයේ පැවැත්ම නිසා, අරාබිය පැත්තට ඔටුවා ද ‘භාරත සයිඩ් එකට’ ගවයා ද යුරෝපාකරයට බැටළුවා සහ අශ්වයා ද සංස්කෘතික විය. මේ ‘සංස්කෘතික සත්ත්වයා’ ජන විඥානයේ, ආදරය සහ ගෞරවය ලබන්නේ වෙයි. අපිට එහෙම ඉන්න එකා, අලියාය. දළදා කරඬුව වැඩමවන භාග්‍ය ලැබෙන්නේ, ඒ පරපුරේ අයෙකුට නිසා, අපිට ඒ සතා සංස්කෘතිකය.

සුද්දෝ එක දිගට වෙඩි තබන ලද්දේ ඒ සංස්කෘතියටය. ඇසළ පෙරහර කාලයට ‘කොල්ලුපිටියේ තානාපති කාර්යාලයක්’ අතින් වියදම් කර, ඇතා ගැන ‘අනුකම්පං උපාදාය’ සිය එන්ජීඕ කල්ලි මාර්ගයෙන් පතුරු වන්නේ ද මේ සංස්කෘතික ගතිකයට පහර දෙන්නටය.

ගමේ ගොඩේ එකාලාට ද දැන් අලියා කරදරයක් වී තිබේ. අලියා වගා පාළු කරන්නේය. ගමේ ගෙවල් බිම දමන්නේය. මේ ආදී කාරණා නිසා අපි ඌ මෙල්ල කිරීම සඳහා ‘අර සුද්දන්ට’ එහා සංග්‍රාමයක් ආරම්භ කර ඇත්තෙමු. හක්කපටස් දෙනවා කියන්නේ, දෙන එකාගේ හක්කට ද ඒ දඬුවම පැනවිය යුතු දෙයකි. ශ්‍රී ලංකාවේ අලි මරණ අතුරින් 25%කට හේතුව හක්කපටස්ය. ඒ මදිවාට දැන් අලි ‘කෝච්චියට ද පනින්නේය’. ඊයේ දිනමිණ මුල් පිටුවෙන්, තැන් දෙකකදී කෝච්චියට හැප්පී අලි හයක් මිය ගොස් ඇතැයි වාර්තා කළේය.

2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්ද 2020 වසරේ වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්ද 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක්ද සිදු විය.

අලි – මිනිස් වලියෙන් 2022 වසරේ, පුද්ගල මරණ 145ක් සහ වන අලි මරණ 433ක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් වන අලි 58ක්, හක්කපටස් නිසා 55ක්, විදුලි සර වැදීමෙන් 47ක්, අනාරක්ෂිත වගා ළිංවලට ඇද වැටීමෙන් 18ක්, දියේ ගිලීමෙන් 15ක්, දුම්රියේ ගැටීමෙන් 14ක්, වෙනත් අනතුරුවලින් 05ක්, මහා මාර්ගවලදී සිදු වූ අනතුරුවලින් 03ක්, විෂ ශරීරගතවීමෙන් 01ක් සහ ස්වාභාවික හේතූන් නිසා 217ක් ලෙස ද මෙසේ වන අලි, 2022දී අප හැර ගොස් තිබේ.

දැන් රටේ නායකයා ‘තනි අලියාය’. සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ඉන්නවාට වඩා කැමැත්තේ, යාල යන්නය. අලියා බේරා ගැනීමට මේ වගේ අවස්ථාවක් යළි උදා වන්නේ නැත.

ලොකු වැඩ නැතිව මේ ප්‍රශ්නය වසරක් දෙකක් තුළ විසඳා ගත හැකිය. ‘අලි බලලා එපා වෙන්නෙත් නෑ – බලි බලලා එපා වෙන්නෙත් නෑ – අලි මැරිලා ඉවර වෙන්නෙත් නෑ’ කියා දැනට කිව හැකිය.

අපේ අලියා හැඩ එකෙකි. අප්‍රිකා අලියා වගේ දිගටි නැත. බෝලය වගේය. ඒ තරම් සිත් ගන්නා සංස්කෘතික සම්පතක් හිමි ජාතිය, ඒ සතා වෙනුවෙන් සිදු කරන්නේ, විපතේදී කම්පාවීම පමණය. කරඬුව ගෙනියන, සතා ගැන ඇති අනුකම්පාව, වනේ එකාට නැති හෙයින් එන්ජීඕ කල්ලි සහ ‘නිරාලා’ ඒ දිහා බලන්නේවත් නැත. ඇසළ පෙරහර පහුවුණු පසු, ඒ අනුකම්පාව යළි එළි දකින්නේ, ඊළඟ වසරේ පෙරහර කාලයටය.

ඒ නිසා අපේ සංස්කෘතික සතා බේරා ගත යුත්තේ අපය. එහෙම නොවේ නම්, අපට බැලීමට අලි වර්ග තුනක් ඉතිරි වෙනවා ඇත. ෆොටෝ එකේ සිටින එකා, පුළුන් පුරවපු එකා සහ අවුරුදු උත්සවයේ ඇහැ තැබීම සඳහා අඳින එකා ලෙසය. අලි යන වචනය අලි සබ්රි, අලි ජින්නා, අලි එක්ස්ප්‍රස් යනාදියේ පමණක් අසන්නට සිදුවනවා ඇත.

ඒ මදිවාට මේ සම්පත බේරා නොගැනීමේ වරදට, ස්කිනර්ගේ සහ රෝජර්ස්ගේ වළට වදින හෙණ, අපේ වළට ද වදිනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT